Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවෝ පසු බසිති

ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවෝ පසු බසිති

editorial - 2019 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර කුල්නාහිදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි වූ අද (28 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියේය. හෙට (29 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.

ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම කඩුලු 6 ක් ඇතැතිව බංග්ලාදේශ නැගී එන කණ්ඩායම තවත් ලකුණු 259 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය නිමාවට පත්වන විට ප්‍රමෝද් මධුවන්ත හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, අෂේන් බණ්ඩාර හතරේ පහර 4 ක් සමග ලකුණු 23 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 42 කි.

ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණ කඩුලු 4 ටම හිමිකම් කීමට දඟ පන්දු යවන ක්‍රීඩක නයීම් හසන් සමත් විය. මුලු ලකුණු සංඛ්‍යාව 59 ක් වන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට හසන් සමත් විය.

එහිදී ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (16) සහ සංගීත් කුරේ (6) දැවී ගියේ අසිර් අලී අතට උඩ පන්දු ලබා දෙමිනි. මොහොමඞ් නයිම් අතට උඩ පන්දුවක් දෙමින් නායක චරිත් අසලංක ලකුණු 18 කට දැවී ගිය අතර මිනෝද් භානුකට ලකුණු 11 ක් ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරය වෙත යෑමට සිදුවූයේ කඩුලු රකින ක්‍රීඩක මහිදුල් ඉස්ලාම් අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි.

පළමු දිනය වූ ඊයේ (27 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 233 ක් ලබා සිටි බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 127 ක් එක්කර ගත්තේය. ඊයේ දිනය අවසානයේ ලකුණු 124 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි නජ්මුල් හොසේන්ගේ ඉනිම ලකුණු 133 කට සීමා කිරීමට කළණ පෙරේරා සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි.

අෆීෆ් හොසේන් (54) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුෂණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නජ්මුල්, ඉන් නොනැවතී සාකිර් හසන් (49) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය සාකිර්ගේ ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 73 කට කඩුලු 4 ක් දවාගත් අතර අසිත ප්‍රනාන්දු සහ කළණ පෙරේරා කඩුලු 2 බැගින් දවාගනිමින් බංග්ලාදේශ පිතිකරුවන් අසරණ කිරීම සඳහා රමේෂ්ට අනගි සහායක් දුන්හ.


බංග්ලාදේශ නැගී එන පිලේ පළමු ඉනිම - සියලු දෙනා දැවී 360
(සයිෆ් හසන් 18, නජ්මුල් හොසේන් 133, අෆීෆ් හොසේන් 54, සාකිර් හසන් 49, නයීම් හසන් 36, තන්වීර් ඉස්ලාම් නොදැවී 16, රමේෂ් මෙන්ඩිස් 73/4, කළණ පෙරේරා 62/2, අසිත ප්‍රනාන්දු 74/2)

ශ්‍රී ලංකා නැගී එන පිලේ පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 104
(පැතුම් නිස්සංක 16, චරිත් අසලංක 18, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 21, අෂේන් බණ්ඩාර නොදැවී 23, නයීම් හසන් 31/4)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැගී එන පිතිකරුවෝ පසු බසිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.