Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රබාඩා - ස්ටොයිනිස් දිල්ලිය දිනවති

රබාඩා - ස්ටොයිනිස් දිල්ලිය දිනවති

editorial - 2020 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉරිදා (8 වැනිදා) පැවැති දෙවැනි කඩයිම් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට කගිසෝ රබාඩාගේ සහ මාකස් ස්ටොයිනිස්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 172 ක් පමණි. හයිද්‍රාබාද් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කේන් විලියම්සන් පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 67 ක් රැස්කළද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. අබ්දුල් සමාඩ් (33) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩගැනීමටද විලියම්සන් සමත් විය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කගිසෝ රබාඩා සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගත් අතර ඊට හයිද්‍රබාද් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර්ගේ (2) කඩුල්ලද ඇතුළත් විය. සෙසු කඩුලු 3 ඔහු දවාගත්තේ හයිද්‍රාබාද් ඉනිමේ 18 වැනි ඕවරයේ තෙවැනි, සිවුවැනි සහ පස්වැනි පන්දුවලදීය.

කෙ‍සේ වුවත් ඉන් දෙවැනි කඩුල්ල දවාගැනීමෙන් පසුව රබාඩා වයිඩ් පන්දුවක් යැවීම හේතුවෙන් එය කඩුලු ත්‍රිත්වයක් ලෙස සලකනු නොලැබිණ. මෙම තරගයෙන් අනතුරුව මුම්බායි කණ්ඩායමේ ජස්ප්‍රීට් බුම්රා (කඩුලු 27) පසුකර යළිත් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණීමටද රබාඩාට (කඩුලු 29) හැකි විය.

සිය පළමු ඕවරයේදීම ආරම්භක පිතිකරු ප්‍රියම් ග්‍රාග් (17) සහ මනීෂ් පාණ්ඩේ (21) දවාගනිමින් හයිද්‍රාබාද් පිල අමාරුවේ දැමූ මාකස් ස්ටොයිනිස්, ඉන් නොනැවතී කේන් විලියම්සන්ගේ කඩුල්ලද බි‍ඳහෙළුවේ හයිද්‍රබාද් කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් තබා තිබූ අවසන් බලාපොරොත්තුවද සුනුවිසුණු කර දමමිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 189 ක් ලබාගත්තේය‍. එහිදී දිල්ලි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් මාකස් ස්ටොයිනිස් (38) සහ ශිකර් ධවාන් (78) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

පන්දු 50 කට මුහුණදුන් ධවාන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 27 කදී වාර්තා වූ ස්ටොයිනිස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ශිම්රන් හෙට්මියර් පන්දු 22 කදී නොදැවී ලකුණු 42 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.
 

දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 3 කට 189
(මාකස් ස්ටොයිනිස් 38, ශිකාර් ධවාන් 78, ශ්‍රෙයාස් අයියර් 21, ශිම්රන් හෙට්මියර් නොදැවී 42)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 8 කට 172
(ප්‍රියම් ග්‍රාග් 17, මනීෂ් පාණ්ඩේ 21, කේන් විලියම්සන් 67, අබ්දුල් සමාඩ් 33, කගිසෝ රබාඩා 29/4, මාකස් ස්ටොයිනිස් 26/3)

 

-036

 


අදහස් (0)

රබාඩා - ස්ටොයිනිස් දිල්ලිය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.