බාධා වුණොත් එය ලෝකයේම රටවලට දැනේවි
මේ වසර අගදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට යම් බාධාවක් සිදුවුවහොත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බොහෝ රටවලට බරපතල මූල්‍යමය බලපෑමක් ඇති කරනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති එෂාන් මානි මහතා පවසයි. පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ විකාශය කෙරුණු වැඩසටහනකදී එෂාන් මානි මහතා ඒබ ව පවසා තිබේ.
කොරෝනා වසංගතය, වෙනත් ක්‍රීඩා ඉසව් මෙන්ම ලොව පුරා රටවල වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවද නවතා දමා තිබේ.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 18 වනදා මෙල්බර්න් හි නිරිත දෙසින් පිහිටි ගීලෝන්ග් නගරයේ ආරම්භ කිරීමට නියමිතය. එය ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගයකි.
“ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන ලෝක විස්සයි20 තරගාවලියට බාධා ඇතිවුවහොත් වුවහොත් එයින් සිදුවන මූල්‍ය හානිය ඉතා විශාලයි..... ඔවුන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සියලුම සාමාජිකයින්ට දෙන මූල්‍ය ආධාර වලට එයින් විශාල බලපෑමක් තියේවි.”
“අප ඇතුළු බොහෝ ක්‍රිකට් පාලක මණ්ඩලවලට ‘කොනිත්තන ආකාරයේ’ හැඟීමක් එයින් දැනේවි” යයි එෂාන් මානි මහතා පැවසීය.
සාමාජික රටවල් අතරේ ලාභය බෙදා හරින ආකාරය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව මේ වන විටත් අවිනිශ්චිත සැලසුම් සකස් කරමින් සිටින නමුත් ලෝක කුසලාන තරගාවලිය නියමිත පරිදි ඉදිරියට යනු ඇතැයි අපේක්ෂා කරමින් පසුවෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූල්‍ය හා වාණිජ කටයුතු කමිටුවේ මුලසුන හොබවන මානි මහතා කියා සිටියේ පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය නරකම දේ සඳහා සූදානම් වන බවයි.
“මූල්‍ය පාලනයන් ඉතා දැඩිව ක්‍රියාත්මක කරන්න වෙනවා. අප උපයන දෙයට වඩා වියදම් නොකරන්නේ නම්, අපි කෙටිකාලයක් ඇතුළතදී සියල්ල නිවැරදි කරගන්න පුළුවන්” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු සභාපතිවරයකුද වන එෂාන් මානි මහතා පැවසීය.
“නමුත් එය (විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය) ලබන වසරට ගොස් අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් මූල්‍යාධාර ලැබෙන්නේ නැතිනම්... පැහැදිලිවම අපි සැලසුම් සකස් කරගත යුතුයි” ඔහු පැවසීය.
පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය මේ වසරේදී නව රූපවාහිනී අයිතිවාසිකම් ගිවිසුමක් අත්සන් කිරීමටද සූදානමින් සිටී.
අසල්වැසියන් අතර ඇති දේශපාලන සබඳතා නිසා ඉන්දියාවට එරෙහි ද්විපාර්ශ්වික තරගමාලාවක් නොපැවතීම පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයට දැරිය නොහැකි පාඩුවකි. මක්නිසාද යත් රූපවාහිනී අයිතිවාසිකම් පිළිබඳ ගිවිසුමකදී ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලියකට ඉතා විශාල මුදලක් හිමිවන බැවිනි. එහෙත් මානි මහතා පැවසුවේ පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයට ඒ පිළිබඳව කළ හැකි දෙයක් නොමැති බවයි.
“නිසැකවම එය පාඩුවක්. නමුත් අපි ඒ ගැන සිතන්නේවත් නැහැ... එය වෙනවා නම් හොඳයි. ඒත් එහෙම නොවුණා කියා ඒ මත්තෙම නැහෙන්න ඕන නෑ” යයි මානි මහතා පැවසීය.
- 2079