Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕවර 131 කදී - 3/555
දිවා ආහාරය සඳහා තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 555 ක් රැස් කළ පාකිස්තානුවෝ මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 475 ක් ඉදිරියෙන් සිටීමට සමත්වූහ. බාබර් අසාම් ලකුණු 100 ක් සහ මොහොමඩ් රිස්වාන් ලකුණු 21 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
උදෑසන සිට දිවා ආහාරය තෙක් කාළය තුළ ඕවර 27 ක් යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ලකුණු 160 ක් ලබාදෙමින් දවාගැනීමට හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. පන්දු යවන්නන්ට කිසිදු අපහසුවකින් තොරව සිවුවැනි දිනයේදී පන්දුවට පහරදුන් පාකිස්තාන පිතිකරුවෝ මුල් භාගයේදී ඕවරයකදී ලකුණු ලබාගැනීමේ වේගය 5.92 ක අගයක පවත්වා ගැනීමට සමත්වූහ.
සිවුවැනි ටෙස්ට් ශතකය ලබාගත් බාබර් අසාම් මෙම තරගාවලියේදී ලබාගත්දෙවැනි ශතකය ලෙසද වාර්තාවූ අතර අවසන් ටෙස්ට් තරග 4 තුලදී ඔහු ලබාගත් සිවුවැනි ශතකයද වන්නේය.
ටෙස්ට් ඉතිහාසයේ මුල්පෙළ පිතිකරුවන් සිවුදෙනා විසින් ශතක ලබාගත් දෙවැනි අවස්ථාව ලෙසද අද තරගය වාර්තා පොත් අතරට එක්විය.
සිය ටෙස්ට් දිවියේ 16 වැනි ශතකය ලබාගත් නායක අසාර් අලී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරිමට ලක්වීමෙන් දැවී ගිය අතර පන්දු 157 ක් පුරා කඩුල්ලේ රැදී සිටි ඔහු හතරේ පහර 13 ක් සමගින් ලකුණු 118 ක් ලබාගැනීමට සමත්විය. නායකත්වයට පත්වීමෙන් පසු ඔහු ලබාගත් පළමු ශතකය ලෙස වාර්තා වන අතර පාකිස්තාන දෙවැනි ඉනිමේදී වාර්තාවූ තෙවැනි ශතකයද වන්නේය.
බාබර් අසාම් සමගින් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 148 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ද අසාර් අලී සමත්විය.
..................................................................................................................................
ඕවර 114 කදී - 2/440
සිවුවැනි දිනටත් අද තරගය ආරම්භ වූ අතර යවන ලද මුල් ඕවර 10 තුලදී කඩුලු ලබානොදෙමින් ලකුණු 45 ක් ලබාගැනීමට පාකිස්තාන පිතිකරුවෝ සමත්වූහ අතර මේ වනවිට ඔවුන් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360 ක් ඉදිරියෙන් සිටීමටද සමත්වූහ. අද දින යවන ලද පළමු ඕවරයේදීම ලකුණු 400 සීමාව පසුකිරීමට පාකිස්තානුවෝ සමත්වූහ.
අද දින ළහිරු කුමාර යවන ලද තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී අසාර් අලී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට සමත්විය. නමුත් විනිසුරුගේ තීරණය සමගින් එකඟනොවූ අසාර් අලී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටියේය. පුණරූපන නැරඹීමේදී පන්දුව පිත්තේ වැදී යන ආකාරයක් දිස්වීම හේතුවෙන් අසාර් අලී දැවී නොගිය බවට තෙවැනි විනිසුරු විසින් තීරණය කළේය.
..................................................................................................................................
ඕවර 104 කදී - 2/395
තරගයේ තෙවැනි දිනය (21 වැනිදා) නිමාවට පත්වන විට පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 395 ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 315 ක් ඉදිරියෙන් සිටියේය.
ඒ වන විට නායක අසාර් අලී ලකුණු 57 ක්ද, බාබර් අසාම් ලකුණු 22 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඔවුන් දෙදෙනා එක්ව පාකිස්තාන කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 40 කි.
අද දිනයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 278 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අබීඩ් අලී (174) සහ ශාන් මසූද් (135) දෙදෙනාම ළහිරු කුමාරගේ පන්දු හමුවේ දැවී ගිය අතර සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එක් කඩුල්ලක් හෝ දවාගැනීමට නොහැකි වූහ.
..................................................................................................................................
ඕවර 95 කදී - 2/369
පාකිස්තාන දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 77 කට සීමා කළ ළහිරු කුමාර අබීඩ් අලී ලකුණු 174 කට දවාගත්තේය. කඩුල්ලේ මුවා කිරීමේ වරදට හසුවෙමින් පිටියෙන් ඉවත්ව යන විට අබීඩ්ගේ දෙවැනි ටෙස්ට් ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 21 කින් සමන්විත විය.
ඕවර 95 ක් නිමාවට පත්වන විට පාකිස්තාන කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 369 ක් ලබා සිටි අතර ඒ වන විට නායක අසාර් අලී නොදැවී ලකුණු 45 ක්ද, බාබර් අසාම් නොදැවී ලකුණු 8 ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.
..................................................................................................................................
ඕවර 84 කදී - 1/329
තේ පානයෙන් අනතුරුව ක්‍රියාත්මක කෙරුණ ඕවර 15 තුළදී ලකුණු 47 ක් රැස්කිරීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූ අතර ඒ අනුව දෙවැනි ඉනිමේ ඕවර 84 ක් අවසන් වන විට පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 329 ක් ලබා සිටියේය.
ඒ වන විට අබීඩ් අලී ලකුණු 158 ක්ද, නායක ආසාර් අලී නොදැවී ලකුණු 29 ක්ද ලබා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් කඩුල්ලේ රැදී සිටියහ.
..................................................................................................................................
ඕවර 69 කදී - 1/282
තේ පානය සඳහා තරගය නතර විට පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 262 ක් ලබා සිටි අතර ඒ වන විට අබීඩ් අලී ලකුණු 137 ක්ද, නායක ආසාර් අලී නොදැවී ලකුණු 4 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
අබීඩ් අලී සහ ශාන් මසූද් (135) එක්ව පාකිස්තාන කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව නිමාවට පත් කිරීමට ළහිරු කුමාර සමත් විය. ඕෂධ ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට මසූද්ගේ දෙවැනි ටෙස්ට් ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.
..................................................................................................................................
ඕවර 55 කදී - 0/224
දිවා ආහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ක්‍රියාත්මක කරන ලද ඕවර 15 තුළදී කඩුලු ලබා නොදී ලකුණු 49 ක් රැස්කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුහ.
ඒ අනුව ඕවර 55 ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 226 ක් ලබා සිටි අතර ඒ වන විට අබීඩ් අලී ලකුණු 113 ක්ද, ශාන් මසූද් ලකුණු 107 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
එහිදී සිය පළමු ටෙස්ට් ශතකය ලබාගත් ශාන් මසූද් එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සැරසූ අතර දෙවැනි ටෙස්ට් ශතකය ලබාගත් අබීඩ් අලී, පහරකින් සහ හතරේ පහර 15 කින් එය අලංකාර කළේය.
..................................................................................................................................
ඕවර 40 කදී - 0/175
තෙවැනි දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන තෙක්ම පාකිස්තාන දෙවැනි ඉනිමේ එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අපොහොසත් වූහ.
අද දිනයේදී මේ දක්වා විශ්ව ප්‍රනාන්දු ඕවර 7 ක්ද, ළහිරු කුමාර ඕවර 6 ක්ද, ලසිත් ඇඔුල්දෙණිය ඕවර 6 ක්ද, ඩිල්රුවන් පෙරේරා ඕවර 7 ක්ද යැවූ නමුත් ඔවුන් කිසිවකුට කඩුලු දවා ගැනීමට නොහැකි වූහ.
ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඕවර 40 ක් අවසානයේ පාකිස්තාන කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 175 ක් ලබා සිටි අතර ඒ වන විට අබීඩ් අලී ලකුණු 93 ක්ද, ශාන් මසූද් ලකුණු 78 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
එහිදී සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ශාන් මසූද් එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සැරසූ අතර අබීඩ් අලීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 13 ක් අැතුළත් වී තිබිණ. අලී සිය දෙවැනි ටෙස්ට් ශතකය පෙනෙන මානයේ සිටියි.
..................................................................................................................................
ඕවර 25 කදී - 0/97
අද දිනයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් යවන ලද මුල් ඕවර 11 තුළදී එක් කඩුල්ලක් හෝ ලබා නොදෙමින් ලකුණු 40 ක් රැස් කිරීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ. ඒ අනුව ඕවර 25 ක් අවසන් වන විට පාකිස්තාන කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 97 ක් ලබා සිටි අතර ඒ වන විට අබීඩ් අලී ලකුණු 55 ක්ද, ශාන් මසූද් ලකුණු 38 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
එහිදී සිය පළමු ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අබීඩ් අලී එය හතරේ පහර 8 කින් සැරසූ අතර මසූද්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් අැතුළත් වී තිබිණ.
අද දිනයේදී මේ දක්වා විශ්ව ප්‍රනාන්දු ඕවර 6 ක්ද, ලසිත් ඇඔුල්දෙණිය ඕවර 4 ක්ද, ඩිල්රුවන් පෙරේරා එක් ඕවරයකද යැවූ නමුත් ඔවුන්ට කඩුල්ලක දවා ගැනීමට නොහැකි වූහ.
..................................................................................................................................
පෙරවරු 10.30
තෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. පන්දුවට පහරදීම සඳහා අබීඩ් අලී සහ ශාන් මසූද් පිටියට පිවිසෙති. පාකිස්තාන ඉනිමේ 15 වැනි ඕවරය යැවීම සඳහා විශ්ව ප්‍රනාන්දු කැඳවයි.
..................................................................................................................................
ඕවර 14 කදී - 0/57
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 57 ක් ලබා සිටි අතර ආරම්භක පිතිකරුවන් වන අබීඩ් අලී හතරේ පහර 4 ක් සමග ලකුණු 33 ක්ද, ශාන් මසූද් හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.
ඒ අනුව පාකිස්තාන කණ්ඩායම කඩුලු 10 අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 23 ක් පසුපසින් සිටියි. අද පස්වරුවේදී ක්‍රියාත්මක වූ ඕවර 14 තුළදී 4.07 ක ලකුණු ලබාගැනීමේ වේගයක් රඳවා ගැනීමට පාකිස්තාන පිතිකරුවෝ සමත් වූහ. හෙට (21 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.
අද පස්වරුවේ ආරම්භ කෙරුණ පාකිස්තාන දෙවැනි ඉනිමේදී විශ්ව ප්‍රනාන්දු ඕවර 5 ක්ද, ලසිත් ඇඹුල්දෙණිය ඕවර 5 ක්ද, ළහිරු කුමාර ඕවර 3 ක්ද, ඩිල්රුවන් පෙරේරා එක් ඕවරයක්ද යැවූ නමුත් ඔවුන් කිසිවකුට කඩුල්ලක් දවාගැනීමට නොහැකි වූහ.
..................................................................................................................................
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පාකිස්තාන පළමු ඉනිම ආරම්භ කිරීම සඳහා අබීඩ් අලී සමගින් ශාන් මසූද් පිටියට පිවිසෙයි. පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සූදානම්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.