Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විසඳුමක් පෙනෙන තෙක් මානයක නොතිබූ දෙවැනි ටෙස්ට් තරගයේදී තමන්ගේ පහර පාලනය කරගැනීමට ආරම්භක පිතිකරුවන් වූ කුසල් ජනිත් පෙරේරා සහ ළහිරු තිරිමාන්න අපොහොසත් වීම හේතුවෙන් නොසිතු පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. ඉලක්කයක් කරා යාමට සිදු නොවූවත්, ටෙස්ට් තරගයක අවසන් දිනයේ කඩුලු රැකගැනීම අභියෝගයක්ව තිබූ අවස්ථාවකදී මෙම පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී යාම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 65 ක පරාජයකට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26 වැනිදා) මුහුණ දුන්නේය.
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පරාජයෙන් ගැලවීම සඳහා ඕවර 91 ක් තුළ කඩුලු රැකගැනීම හෝ ලකුණු 187 කට වැඩියෙන් ලබාගැනීම කළ යුතුව තිබිණ. එහෙත් ඕවර 70.2 ක් තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122 කට දැවීගියේ තරගාවලිය සමකිරීමේ අවස්ථාව නවසීලන්තයට දෙමිනි.
ටෙස්ට් තරගාවලියකදී ගාල්ලේ පැවැත්වෙන පළමු තරගය ජයගැනීමෙන් පසුව, කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි තරගය පරාජය වූ පස්වැනි අවස්ථාව මෙයයි. මීට පෙර, නවසීලන්තයට එරෙහිව (2012 දී), එංගලන්තය එරෙහිව (2012 දී), ඉන්දියාවට එරෙහිව (2015 දී) සහ බංග්ලාදේශයට එරෙහිව (2017 දී) ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ඉරණමටම මුහුණ දී තිබේ.
මෙම තරගයේ ප්‍රතිඵලයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය ප්‍රසාද ලකුණු 60 ක් බැගින් ලබාගනිමින් පළමු වැනි තරගාවලිය නිමා කළහ.
දිවා ආහාරය වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 33 කට බිඳ වැටී තිබුණ නමුත් දිවා ආහාරයෙන් පසුව නිරෝෂන් දික්වැල්ල සහ දිමුත් කරුණාරත්න එක්ව ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අවස්ථාවේදී විතීවි අවස්ථාව ප්‍රයෝජනයට ගත් නමුත් ටිම් සවුතිගේ පන්දුව කඩුල්ල එල්ලයේ ඇදී ගිය බව රූපවාහිනී ප්‍රතිදර්ශන වලින්ද තහවුරු වූයෙන් දිමුත්ට හෝ ශ්‍රී ලංකා පිලට ගැලවීමක් නොවීය.
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීමේ අටියෙන් අභීත සටනක නිරත වූ නිරෝෂන් දික්වැල්ල තමන්ගේ ප්‍රියතම පහර වන ස්වීප් පහර ගැසීමෙන් බොහෝ අවස්ථාවලදී වැළකී සිටියේ උගුලේ නෙවැටීමේ අදහසිනි. එහෙත් අජාස් පතෙල් පන්දු යවමින් සිටියදී තමන් වටකරගෙන සිටි පන්දු රකින්නන් තරමක් ඈතට යැවීමේ අදහසින් ස්වීප් පහරක් ගැසීමට සූදානම් වනවාත් සමගම ‘ෆෝවර්ඞ් ෂෝට් ලෙග්’ හි සිටි ටොම් ලෙතම් සිය දකුණු පසට ඇදී යද්දී පැමිණි දික්වැල්ලගේ උඩපන්දුව ඔහුගේ දෑත් අතර සිරවිය. දැවීයාම හේතුවෙන් මහත් සන්තාපයට පත් දික්වැල්ල තත්ත්පර කිහිපයක් තණතීරුවේම සිට ආපසු ක්‍රීඩාගාරයට පියමනින විට ලකුණු පුවරුවේ 118 ක් සටහන් වී තිබිණ.
දික්වැල්ලගේ දැවීයාමත් කේන් විලියම්සන්ගේ විශිෂ්ට උඩපන්දුවකින් තහවුරු වූ ශ්‍රී ලංකා පිලේ පරාජයත් අතර පරතරය විනාඩි 2 කි.
දෙවැනි ඉනිමේ ආරම්භයේදී ශ්‍රී ලංකා පිතිකරුවෝ එකා පසුපස එකා දැවී ගියහ. ළහිරු තිරිමාන්න (0), කුසල් ජනිත් පෙරේරා (0), කුසල් මෙන්ඩිස් (20), ඇන්ජලෝ මැතිව්ස් (7) සහ ධනංජය ද සිල්වා (1) යන පස්දෙනාටම ලබාගත හැකිවූයේ ලකුණු 28 ක් පමණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අරම්භ කරමින් යැවුණු පළමු ඕවරයේදීම නොතිබූ ලකුණක් සොයා ගිය ළහිරු තිරිමාන්න පන්දු යවන්නාගේ අන්තයේදී දුවද්දී දැවී ගියේය. මිඞ් විකට් කලාපය වෙත තල්ලු කළ පන්දුව සැණෙකින් අහුළා ගත් අජාස් පතෙල් එය පන්දු යවන්නාගේ අන්තයට දමාගසන විට ආපසු හැරීමට තරම් කාලයක් කුසල් පෙරේරාට හෝ තිරිමාන්නට ඉතිරි වී නොතිබිණ. ඕවර දෙකකට පසුව පිට ඉන්නට බොහෝ ඈතින් ඇදි ගිය පන්දුව හඹා ගොස් පහරක් ගැසීමට උත්සුක වූ කුසල් ජනිත් පෙරේරාගේ උඩපන්දුව කඩුලු රකින්නා අත පත්වන විට ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 04 ක් පමණි.
කුසල් පෙරේරා ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී ගිය අතර තිරිමාන්න සරවනමුත්තු පිටියේදී නැවත වරක් අසාර්ථක විය. මෙම ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 4 කට සහභාගි වී සිටින තිරිමාන්න ඉනිම 8 කින් එකකදී ලකුණු 62 ක් ලබා ඇති නමුත් ඉතිරි ඉනිම හතේදීම ලබා ඇත්තේ ලකුණු 59 කි.
ලකුණු 4 කට ඉදිරිපෙළ කඩුලු දෙකක් බිඳ වැටීමෙන් ඇතිවූ පීඩනය එන්න එන්නම වැඩිකිරීමට නවසීලන්ත නායකයා පියවර ගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු අහුරා දැමිය හැකි පරිදි පන්දු රකින්නන් රැඳවීමෙනි. පසුව කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්, විලියම් සමර්විල් සහ අජාස් පතෙල් එක්ව ඇන්ජලෝ මැතිව්ස්, කුෂල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකා පිල කිසිසේත්ම අපේක්‍ෂා නොකළ අකරතැබ්බයක් විය.
දිවා ආහාරය වන විට කඩුලු 5 ක් බිඳ වැටී තිබු නමුත් දිවා ආහාරයත් - තේ පානයත් අතර නවසීලන්ත පන්දු යවන්නන්ට දවාගත හැකිවූයේ කඩුලු 2 ක් පමණි. ඔවුන් අතර දිමුත් කරුණාරත්න සහ ඩිල්රුවන් පෙරේරා සිටියහ.
දින හතරක් පුරා කරදර කළ වර්ෂාව පස්වැනි දිනයේදී ඈතට වී සිටියේය. තේ පානයෙන් පසුව පැවැතියේ මියෙම්වා - රැකෙම්වා සටනකි. ඉතිරි ඕවර 36 දී තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගැනීමට ශ්‍රී ලංකා පසුපෙළ පිතිකරුවන් උත්සාහ කරද්දී එම කඩුලු තුන දවාගැනීමට නවසීලන්ත නායකයා සියලුම උප්පරවැට්ටි යොදාගත්තේය. තේ පානයෙන් පසුව හෝරාවක් යාමටත් මත්තෙන් සියල්ල නිමා විය.
විශිෂ්ට ශතකයකින් නවසීලන්තයේ ජය මාවත විවර කර දුන් ටොම් ලෙතම් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.