
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව හැමිල්ටන් නුවර සෙඩොන් පාර්ක් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත පිල සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියෙන් 3-0 පූර්ණ ජයක් ලැබීමටද නවසීලන්තයට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත ක්‍රීඩකයෝ ඕවර 30.3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ මයිකල් බ්‍රාස්වෙල් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 40 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. මාක් චැප්මන් පන්දු 63 කින් ලකුණු 64 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමට මැතිව් හෙන්රි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 36.2 අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 161 ක් පමණි. එහිදී කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රොස්ටන් චේස් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැතිව් හෙන්රි ඕවර 9.2 ක් යවමින් ලකුණු 43 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ අතර කොදෙව් ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් නායක මිචෙල් සෑන්ට්නර් සහ ජෙකොබ් ඩෆී කඩුලු 2 බැගින් දවාගත්හ. කයිල් ජෙමීසන් සහ සකාරි ෆෝල්ක්ස් කඩුල්ල බැගින් බිඳහෙළමින් කොදෙව් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා කිරීම සඳහා දායකත්වය ලබා දුන්හ.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 36.2 කදී සියලු දෙනා දැවී 161
(ජෝන් කැම්බල් 26, අකීම් ඔගස්ටි 17, ශායි හෝප් 16, ශර්ෆේන් රදර්ෆෝඩ් 19, රොස්ටන් චේස් 38, ඛැරී පෙයිරි නොදැවී 22, මැතිව් හෙන්රි 43/4, ජෙකොබ් ඩෆී 27/2, මිචෙල් සෑන්ට්නර් 27/2)
නවසීලන්ත පිල - ඕවර 30.3 කදී කඩුලු 6 ක් දැවී 162
(රචින් රවින්ද්‍ර 14, මාක් චැප්මන් 64, මයිකල් බ්‍රාස්වෙල් නොදැවී 40, ජේඩන් සීල්ස් 35/2, මැතිව් ෆෝඩ් 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.