Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දිගු ගමනකට අලුත් ආරම්භයක්

දිගු ගමනකට අලුත් ආරම්භයක්

editorial - 2019 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ සිට)

විස්සයි-20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ආරම්භ වූ 2012 සිට 2015 දක්වා පැවැති වසර තුනෙන් වසර දෙකක්ම එහි මුදුන් හිණිපෙතේ පසුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එසේ වැජඹුණ ශ්‍රී ලංකා කණ්ඩායම වසර තුනක සිට 8 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබේ. 2016 දී 8 වැනි ස්ථානයට ඇද වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම සතුව දැනට ඇත්තේ ප්‍රසාද ලකුණු 227 කි. ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින ඇෆ්ඝනිස්තානය (7 වැනි ස්ථානය) සතුව ප්‍රසාද ලකුණු 241 ක් තිබේ.

පුදුම වන්නට කාරණාවක් නැත. පසුගිය වසරක කාලයේදීම ශ්‍රී ලංකාව විස්සයි-20 තරගයක් ජයගෙන නැත. ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට විස්සයි-20 තරගයක් ජයගත්තේ පසුගිය අගෝස්තුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වුවත් එහිදීත් ලකුණු 99 ක් ලබාගැනීම සඳහා ඕවර 16 කදී කඩුලු 7 ක් දන් දෙන්නට සිදුවිය.

එබැවින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (1 වැනිදා) ආරම්භ වන විස්සයි-20 තරගාවලියේදී ලසිත් මාලිංගගේ අදහස වන්නේ මීළඟ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර වඩාත් ශක්තිමත් ක්‍රීඩක සංචිතයක් සොයා ගැනීමයි.

“තරගාවලිය ආරම්භ කරමින් දිග ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ..මොකද 2020 ලෝක කුසලාන තරගාවලියට පෙර විස්සයි-20 තරග 19 ක් විතර තියෙනවා. ඒ වෙනකොට කවුරු නායකයා වුණත්, හොඳ සංචිතයක් හැදිලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි, තරගාවලියකට යනකොට, දක්‍ෂ ක්‍රීඩකයන් එක්ක, විශ්වාසයෙන් යන්න පුළුවන් වෙන්නේ....ඒක තමයි මගේ පළමුවෙනි අරමුණ”
“මම ඉදිරියේදී නායකයා වුණත් නැතත්, මේ තරග තුනේදී මම බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ විස්සයි-20 කණ්ඩායමට ඉදිරියේදී හොඳ සංචිතයක් නිර්මාණය කරලා දෙන්නයි” යයි ශ්‍රී ලංකා විස්සයි-20 නායක ලසිත් මාලිංග අද (31 වැනිදා) සවස පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ තරුණ ක්‍රීඩකයන්ට වැඩි වැඩියෙන් අවස්ථාව දෙමින් 2020 ලෝක කුසලාන තරගාවලිය දක්වා ඔවුන්ගෙන් උපරිමය උකහා ගැනීමයි.

පසුගිය කාලයේදී කොළඹින් පිටත තරග පැවැති අවස්ථාවල, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ පුහුණුවීම් සඳහා සහභාගි වීමේදී විවිධ ප්‍රතිපත්ති අනුගමනය කළහ. ඇතැම් පුහුණුවීම් සැසි වලට ක්‍රීඩකයන් සහභාගි වූයේ තම තමන්ගේ මනාපය පරිදිය. එහෙත් ඊයේ (30 වැනිදා) රාත්‍රියේ පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති පුහුණුවීමේ සැසියට සංචිතයේ ක්‍රීඩකයෝ 15 දෙනාම එක්ව සිටියහ.

වාර්තා වන පරිදි විවේකාගාරයේදී ක්‍රීඩකයන්ගේ හැසිරිම වෙනස් වෙමින් තිබේ. තම තමන්ගේ වගකීම බාරගැනීමට ක්‍රීඩකයන්ට සිදුව තිබේ.

“පහුගිය කාලයේදී ක්‍රීඩා කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන් දක්‍ෂතා දක්වලා තියෙන්නේ මොන ස්ථාන වලද ? ඔවුන්ගෙන් මේ තරගාවලියේදී ගන්න පුළුවන් දේ මොනවාද කියන දේ අනුව පිතිකරුවන් ලයිස්තුගත කරනවා....”

“සමහර විට ඔබ බලාපොරොත්තු නොවන ක්‍රීඩකයන් ඉදිරියට එන්නත් පුළුවන්. ඒක නිසා ආරම්භක පිතිකරුවන් හෝ ඉදිරිපෙළ පිතිකරුවන් හතර දෙනා කවුරුන්ද යන්න මේ අවස්ථාවේ කිවයුතු දෙයක් නොවෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙන් උපරිමය කණ්ඩායමට ගන්න. අපි තරගාවලියට යන්නේ ඒ සැලසුමත් එක්ක” යයිද මාලිංග පැවසීය.

ලබන වසරේ ඕස්ටේ්‍රලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි-20 අන්තර්ජාතික තරග 19 කට පමණ සහභාගි වීමට නියමිතය. මෙම තරග 19 න් තරග 10 ක් පමණ ක්‍රීඩකයක් සොයාගැනීම සඳහා භාවිතා කරමින්, ඉන් අනතුරුව ඉතිරි තරග 9 දී ස්ථාවර සංචිතයක් සමගින් තරග වැදීම ශ්‍රී ලංකා පිලේ සැලැස්ම වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිතිකරුවෝ 7 ක් සහ පන්දු යවන්නෝ 4 කි. එහෙත් පිතිකරුවන් හත් දෙනා අතරේ ඕවර 4 ක් බෙදී යා යුතුව  තිබේ. පන්දු යවන්නන් හතර දෙනා තෝරා ගැනීමේදී වැඩි බර වේග පන්දු යවන්නන්ටද නැතහොත් දඟ පන්දු යවන්නන්ටද යන්න අවසන් මොහොතේදී ගන්නා තීරණයකි.

“වැඩිපුර වේග පන්දු යවන්නකු ක්‍රීඩා කරනවාද නැත්නම් දඟ පන්දු යවන්නකු ක්‍රීඩා කරනවාද කියා අපි තවමත් තීරණය කරලා නෑ. නමුත් නවසීලන්ත කණ්ඩායම දිහා බලපුවාම, ඒ ගොල්ලන් වේග පන්දු යවන්නන්ට හොඳින් පහර දෙනවා...”

“ඒ නිසා හෙට හවස ඇවිදින් බලන්න වෙනවා තණතීරුව කොයි තරම් වේලිලා තියෙනවාද කියලා. ඒ අනුව තමයි අපට තීරණයක් ගන්න වෙන්නේ” යයිද මාලිංග පැවසීය.

මේ වනවිට විස්සයි-20 කඩුලු 97 ක් දවාගෙන සිටින ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානය අත්පත්කරගෙන සිටී. පාකිස්තානයේ සහීඞ් අෆ්රීඩි විස්සයි-20 අන්තර්ජාතික කඩුලු 98 ක් දවාගෙන තිබෙන අතර මෙම තරගාවලියේදී කඩුලු 3 ක් දවාගත හොත් විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී කඩුලු 100 දවාගන්නා පළමු පන්දු යවන්නා වීමේ අවස්ථාව ලසිත් මාලිංගට ලැබෙයි.

ඒ සම්බන්ධයෙන් මාලිංගගේ දරන්නේ මෙවන් අදහසකි.

“මම කඩුලු 100 ක් දවාගන්නවාද එක කඩුල්ලක් දවාගන්නවාද කියන එක වැදගත් නෑ. මොකද මගේ ක්‍රිකට් ජීවිතයේදී සෑම කඩුල්ලක්ම එක වගේ වටිනවා...ඒත් හෙට තරගයේදී මට කඩුලු 3 ක් දවාගන්න පුළුවන් නම් මම හිතනවා හෙට තරගය ජයගන්න පුළුවන් කියලා....මගේ සන්ධිස්ථාන වලට වඩා මට වැදගත් වෙන්නේ තරගය ජයග්‍රහණය කරන එකයි” යයිද මාලිංග පැවසීය.


ශ්‍රී ලංකා සංචිතය
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්,  ජෙෂහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු මධුෂංක

නවසිලන්ත සංචිතය
ටිම් සවුති (නායක), ටොඞ් ඇස්ටල්, ටොම් බෘස්, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම්, ලොකී ෆර්ගසන්, මාටින් ගප්ටිල්, ස්කොට් කුග්ලෙජන්, ඩැරිල් මිචෙල්, කොලින් මුන්රෝ, සෙත් රේන්ස්, මිචෙල් සෑන්ට්නර්, ටිම් සෙයිෆර්ට්, ඉෂ් සෝධි සහ රොස් ටේලර්

විනිසුරුවරු
රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල

 


අදහස් (0)

දිගු ගමනකට අලුත් ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.