චන්දිමාල් - ධනංජය ශ්‍රී ලංකාව ඔසවා තබති
දිනේෂ් චන්දිමාල්ගේ (85) සහ ධනංජය ද සිල්වාගේ (නොදැවී 79) අර්ධ ශතක හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී අද (26 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පළමු දිනය අවසන් වනවිට කඩුලු 6 ක් දැවී ලකුණු 340 ක් රැස්කරමින් දිනයේ වැඩි ගෞරව දිනාගැනීමට සමත්විය.
දසුන් ශානක ලකුණු 25 ක් සහ කසුන් රාජිත ලකුණු 7 ක් රැස්කරමින් හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 20 ක සම්බන්ධතාවයක්ද ගොඩනගමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ශ්‍රී ලංකා ලකුණු පුවරුව 54 ක් වනවිට මුල් පෙළ පිතිකරුවන්වූ දිමුත් කරුණාරත්න (22), කුසල් ජනිත් (16) සහ කුසල් මෙන්ඩිස් (12) පිටයෙන් ඉවත් කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.
නමුත් සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා නොබිඳුණු ලකුණු 131 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ නමුත් කළව ප්‍රදේශයේ මස්පිඩු තදවීමක් හේතුවෙන් ධනංජය ද සිල්වා පිටියෙන් ඉවත්වීමත් සමගින් එම සම්බන්ධතාවයට තිත තැබුණි.
සෙන්චූරියන්හි සුපර්ස්පොර්ට් පාර්ක් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් සදහා ගොඩනැගූ ඉහළම සබදතාවය ලෙස එම සබදතාව වාර්තා අතරට එක් වුයේය. මින් පෙර කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන 2002 වසරේ මෙම ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගයකදී තෙවැනි කඩුල්ල සදහා ලකුණු 119 ක සබදතාවක් ගොඩ නගමින් එම වාර්තාවට උරුමකම් කියූහ.
හොඳින් ලකුණු රැස්කරමින් සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිටි ධනංජය ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත්වීම ශ්‍රී ලංකා පිලට දැඩි පහරක් විය. ඒ වනවිට පන්දු 106 කට මුහුණදී සිටි ඔහු හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 79 ක් රැස්කර සිටියේය.
සාර්ථක සම්බන්ධතාවයකින් පසුව ධනංජයට පිටියෙන් ඉවත්වීමට සිදුවුවද එතැන් සිට නැවතත් නිරෝෂන් දික්වැල්ල සමගින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීම ආරම්භ කළ චන්දිමාල් සිව්වැනි කඩුල්ල ලෙස ෆෆ් ඩු ප්ලෙසීස් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. මුල් පෙළ කඩුලු තුනක් අඩු ලකුණු සංඛ්‍යාවක් තුල දැවී යාමෙන් පසුව සෙමෙන් සෙමෙන් ඉනිම ගොඩනැගීමට දායක වූ චන්දිමාල් පන්දු 161 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි අතර හතරේ පහර 11 ක් සමගින් ලකුණු 85 ක් ලබාගත්තේය. චන්මාල් දැවීයන විට සිව්වැනි කඩුල්ල සඳහා නිරෝෂන් දික්වැල්ල සමගින් එක්ව ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනගා තිබුණි.
ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 12 ක් එක්වන විට සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් සිටි නිරෝෂන් දික්වැල්ල කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් ලකුණු 49 කට දවාගැනීමට වියාන් මල්ඩර් සමත්විය.
දිනය නිමා වීමට තවත් ඕවර 8 ක් පමණ තිබියදී මංගල තරගට එක්වූ වනිඳු හසරංග ලකුණු 18 කට පිටියෙන් ඉවත් කරමින් මංගල තරගයේ මංගල කඩුල්ල දවාගැනීමට දකුණතින් වේගපන්දු යවන ලුතෝ සිපම්ලා සමත්විය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ප.න්ගිඩි 22
කුසල් පෙරේරා - ඇ.කොක් ප.මල්ඩර් 16
කුසල් මෙන්ඩිස් - ඇ.න්ගිඩි ප.නෝයේ 12
දිනේෂ් චන්දිමාල් - ඇ.ප්ලෙසීස් ප.මල්ඩර් 85
ධනංජය ද සිල්වා - පිටියෙන් ඉවත්විය 79
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා 49
දසුන් ශානක - නොදැවී 25
වනිඳු හසරංග - ප.සිපම්ලා 18
කසුන් රාජිත - නොදැවී 7
අතිරේක 27
ඕවර 85 කදී කඩුලු 6 කට ලකුණු 340
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝඃ
විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර
කඩුලු වැටීමඃ
1-28 (දිමුත්), 2-54 (මෙන්ඩිස්), 3-54 (පෙරේරා), 4-284 (චන්දිමාල්), 5-296 (දික්වැල්ල), 6-320 (වනිඳු)
පන්දු යැවීමඃ
ලුන්ගි න්ගිඩි - 16-2-54-1
ලුතෝ සිපම්ලා - 14-1-68-1
ඇන්රිච් නෝයේ - 18-3-60-1
වියාන් මල්ඩර් - 18-3-68-3
කේෂව් මහරාජ් - 19-3-74-0