Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කුනේමන් ඉන්දියාව අඹරවයි
බෝඩර් - ගවස්කාර් කුසලාන

කුනේමන් ඉන්දියාව අඹරවයි

editorial - 2023 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දඟ පන්දු යවන්නන් සිව්දෙනෙක් එක්වී කඩුලු 13 ක් බෙදාගත් නමුත් ඉන්දෝර් නුවරදී අද (01 වැනිදා) ආරම්භ වූ තුන්වැනි ටෙස්ට් තරගයේදී වාසිය මිට මොළවා ගැනීමට ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ. ඉන්දීය පළමු ඉනිම ලකුණු 109 කට සීමා කිරීමට මැතිව් කුනේමන් (16/5) සහ නේතන් ලයන් (35/3) සමත් වූ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් අභීත පිතිහරඹයක නිරත වූ උස්මන් කවාජා (60) මුල් ඉනිමේ වාසිය ඕස්ටේ්‍රලියානු පිලට ගෙනැවිත් දුන්නේය.

තරගයේ පළමු දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට ඕස්ට්‍රේලියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් රැස්කර ගත්හ. එය කඩුලු 6 ක් අතැතිව, ඉන්දියානුවන්ට වඩා ලකුණු 47 කින් ඉදිරියට පැනීමකි. සවස තරගය නතර කරන විට පීටර් හැන්ඩ්ස්කොම්බ් (නොදැවී 07) සහ කැමරන් ග්‍රීන් (නොදැවී 06) පිටියේ රැඳී සිටියහ.

තරග 4 කින් සමන්විත බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේදී පළමු තරග දෙකම පරාජය වී සිටින ඕස්ට්‍රේලියානුවන් තවදුරටත් සටනේ රැඳී සිටීමට නම් මෙම තරගය ජයගත යුතුව තිබේ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් නමුත් මැතිව් කුනේමන් සහ නේතන් ලයන් දෙදෙනා හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත්වෙමින් ලකුණු 109 කට දැවී ගියේය. ඕස්ට්‍රේලියානු පිලේත් පළමු කඩුල්ල ලකුණු 12 දී බිඳ වැටුණ නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ උස්මන් කවාජා සහ මානස් ලැබුෂේන් මුල් ඉනිමේ වාසිය තමන් වෙත ඇදගත්හ.

මෙම තණතීරුව පිතිකරුවන්ට වගුරු බිමක් මෙන් විය.

“නව පන්දුව හැසිරුණේ කිසිම පිළිවෙලක් නැතුවයි. ඒ වුණත්, හොඳ සම්බන්ධතාවක් පවත්වාගන්න ලැබුණ එක හොඳට හිටියා. කොහොම වුණත් මේක පිතිකරුවන්ට හොඳ තණතීරුවක් නම් නෙමේ” යයි කවාජා දිනය අවසන් වීමෙන් පසුව පැවසීය.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමේ පෙරමුණේ සිටින මානස් ලැබුෂේන් මුහුණ දුන් පළමු පන්දුවම කඩුල්ලේ වද්දා ගත් නමුත් එය රවීන්ද්‍ර ජදේජා විසින් යවන ලද නිපන්දුවක් විය.

සිය දෙවැනි ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවාගත් මැතිව් කුනේමන් ඕස්ටේ්‍රලියාවේ වීරයා විය. වමතින් දඟ පන්දු යවන කුනේමන් ටෙස්ට් වරම් දිනාගත්තේ පසුගිය සතියේදී පැවැති නවදිල්ලි ටෙස්ට් තරගයේදීය. තණතීරුවේ පැවැති දඟ කැවෙන සුළු ස්වභාවය නිසා ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත් ඉනිමේ 6 වැනි ඕවරයේදීම තම දඟ පන්දු යවන්නන් කැඳවීය. එම ඕවරයේ අවසන් පන්දුවේදී ඉන්දීය නායකයා ස්ටම්ප් කිරීමකට හසුවිය.


ඉන්දියාව - පළමු ඉනිම 109 යි
(රෝහිත් ෂර්මා 12, ෂුබ්මන් ගිල් 21, විරාට් කෝලි 22, ශ්‍රීකාර් භාරත් 17, අක්ෂර් පතෙල් නොදැවී 12, උමේෂ් යාදව් 17, මැතිව් කුනේමන් 16/5, නේතන් ලයන් 35/3)

ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 4 ට 156
(උස්මන් කවාජා 60, මානස් ලැබුෂේන් 31, ස්ටීවන් ස්මිත් 26, රවීන්ද්‍ර ජදේජා 63/4)

- 213

 


අදහස් (0)

කුනේමන් ඉන්දියාව අඹරවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.