Last Update  :  2025-11-22 16:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 8 ක දැවැන්ත ජයක්
අළු බඳුන - 2025

ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 8 ක දැවැන්ත ජයක්

editorial - 2025 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඩුලු කොල්ලකෑමට උපන් හපන්කමක් ඇති මිචෙල් ස්ටාක් (55/3) සහ ස්කොට් බෝලන්ඩ් (33/4) දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 164 කට සීමා විය. තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය වූයේ ලකුණු 205 ක් පමණි. ආරම්භක පිතිකරුවාගේ ස්ථානය ඉල්ලා ගත් ට්‍රැවිස් හෙඩ් (123) ලබාගත් චිත්තාකර්ශනීය ශතකය නිසා ඕස්ට්‍රේලියානුවෝ, 2025 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේදී කඩුලු 8 ක විශිෂ්ට ජයක් අත්කර ගත්හ. 

‘බස්බෝල්’ න්‍යාය ටෙස්ට් පිටියට හඳුන්වාදුන් එංගලන්තයට එයින්ම පහර දුන් ඕස්ට්‍රේලියානුවෝ තරගය දින දෙකකින් නිමා කළේ පර්ත් නුවර ඔප්ටස් ක්‍රීඩාංගණයේදී සම්පූර්ණ ආධිපත්‍යය පතුරුවාලමිනි. ඕවර 28.2 කින් සිය ඉලක්කය කරා අවතීර්ණ වූ ඕස්ට්‍රේලියානුවන්ගේ දෙවැනි ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය 7.28 ක් විය. 

දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ට්‍රැවිස් හෙඩ් සහ මානස් ලැබුෂේන් දෙදෙනාගේම පිතිහරඹය ටෙස්ට් තරගයකට වඩා විස්සයි-20 තරගයකදී කරනු ලබන පිතිහරඹයකට වැඩිමනත් නෑකම් කීවේය. 

පන්දු 69 කින් සිය ශතකය සම්පූර්ණ කළ ට්‍රැවිස් හෙඩ් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ශතක ලබාගත් පිතිකරුවන්ගේ ලයිස්තුවේ සිව්වැනි ස්ථානයට පැමිණියේය. ඩේවිඩ් වෝනර් (2012 දී - පන්දු 69), ජැක් ග්‍රෙගරි (1921 දී - පන්දු 67) සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් (2006 දී - පන්දු 57) ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත්ම ටෙස්ට් ශතක ලබාගත් සෙසු පිතිකරුවෝ වෙති. 

මුල් ඉනිමේදී ලකුණු 132 කට දැවී යාම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවෝ එංගලන්තයට වඩා ලකුණු 40 කින් පසුපසට වැටුණහ. විශිෂ්ට පන්දු යැවීමක් ආරම්භ කල මිචෙල් ස්ටාක් පස්වැනි පන්දුවේදීම එංගලන්ත ආරම්භක පිතිකරුවා වන සැක් ක්‍රෝලි දවාගත් නමුත් කඩුලු 1 කට ලකුණු 65 ක් ලබා සිටි එංගලන්ත පිතිකරුවෝ ඉනිම ගොඩනඟමින් සිටියහ. 

දිවා ආහාරයෙන් පසුව තරගය කණපිට හැරවූ මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඩ් සහ බ්‍රෙන්ඩන් ඩොගට් (51/3) එක්ව එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 164 කට සීමා කළහ. මෙම කඩුලු 9 දවාගැනීම සඳහා ඔවුන් තිදෙනා යැවූයේ ඕවර 18.2 ක් පමණි. 

පන්දු 11 ක් ඇතුළත බෙන් ඩකට් (28), ඔලී පෝප් (33) සහ හැරී බෲක් (0) දවා ගැනීමට බොලන්ඩ් සමත් වූ අතර, පන්දු දෙකකට පසුව ස්ටාර්ක් විසින් ජෝ රූට්ගේ ඉනිම ලකුණු 8 කට සීමා කරන ලදි. 

ස්ටාර්ක් විසින් බෙන් ස්ටෝක්ස් (2) දවා ගන්නා විට, ලකුණු 88- ට එංගලන්ත කඩුලු 6 ක් බිඳ වැටී තිබුණු අතර එය ස්ටාක් මෙම තරගයේදී දවාගත් 10 වැනි කඩුල්ල විය. සිය 101 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වමත් වේග පන්දු යවන්නා ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් ලබාගත් තුන්වැනි අවස්ථාව මෙයයි. 

එංගලන්ත පිලේ හත්වැනි කඩුල්ලත් ලකුණු 107 දී දැවී ගිය නමුත් ගස් ඇට්කින්සන් (37) සහ බ්‍රයිඩන් කාර්ස් (20) එක්ව ලකුණු 50 ක සම්බන්ධතාවයක් ගොඩනඟමින් ලකුණු සංඛ්‍යාව 150 සීමාවෙන් ඔබ්බට ගෙන ගියද ඕස්ටේ්‍රලියානුවන් මෙල්ල කිරීමට එය කිසි සේත්ම ප්‍රමාණවත් නොවීය. 


එංගලන්තය - පළමු ඉනිම 172 යි
ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 132 යි
එංගලන්තය - දෙවැනි ඉනිම 164 යි

(බෙන් ඩකට් 28, ඔලී පෝප් 33, මිචෙල් ස්ටාක් 55/3 සහ ස්කොට් බෝලන්ඩ් 33/4, බ්‍රෙන්ඩන් ඩොගට් 51/3)
ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 2 ට 205 යි
(ට්‍රැවිස් හෙඩ් 123, ජේක් වෙදරල්ඩ් 23, මානස් ලැබුෂේන් නොදැවී 51, බ්‍රයිඩන් කාර්ස් 44/2)

- 213


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවන්ට කඩුලු 8 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.