Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය සම කරති

ඉන්දීය ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය සම කරති

editorial - 2019 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව විශාඛාපට්නම්හි රාජසේඛර රෙඞ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 107 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (18 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයට පත්කිරීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 387 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට මොහොමඞ් සාමි සහ කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 43.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 280 ක් පමණි. එහිදී සිය එක්දින ක්‍රිකට් දිවියේ දෙවැනි කඩුලු ත්‍රිත්වය ලබාගැනීමට කුල්දීප් යාදව් සමත් වූ අතර 32 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී නිකලස් පූරන් දවාගත් යාදව්, එහි පස්වැනි සහ හයවැනි පන්දුවලදී ජේසන් හෝල්ඩර් (11) සහ අල්සාරි ජෝෂප් (0) දවාගනිමින් එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කීවේය.

ඒ සමගම කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කියන එකම ඉන්දීය පන්දු යවන්නා ලෙසද යාදව් වාර්තා අතරට එක් විය. 2017 වසරේදී ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගනිමින් ඉන්දියාව වෙනුවෙන් එවන් දස්කමක් දැක්වූ තෙවැනි ක්‍රිඩකයා බවට පත් වූ යාදව් මෙම තරගයේදී ලබාගත් කඩුලු ත්‍රිත්වයත් සමග අවස්ථා දෙකකදී එවන් දස්කමක් දැක්වූ ලොව පස්වැනි ක්‍රීඩකයා බවටද පත්විය. ඔහුට පෙර වසීම් අක්‍රම්, සක්ලේන් මුෂ්ටාක්, චමින්ද වාස් සහ ටේ‍රන්ට් බෝල්ට් කඩුලු ත්‍රිත්ව දෙකකට බැගින් හිමිකම් කීහ. තම නාමය ඉදිරියෙන් කඩුලු ත්‍රිත්ව 3 ක් සටහන් කරගෙන සිටින ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්ව ලැයිස්තුවේ පෙරමුණේ පසුවෙයි.

දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ශායි හෝප් පන්දු 85 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 78 ක් රැස්කළේය. ලකුණු 86 කට කඩුලු 3 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී නිකලස් පූරන් (75) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 106 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෝප් සමත් වූ අතර පන්දු 47 කදී වාර්තා වූ පූරන්ගේ වේගවත් ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 6 කින් සමන්විත විය.

මොහොමඞ් ශාමිගේ පන්දුවක් හමුවේ කුල්දීප් යාදව් අතට උඩ පන්දුවක් දෙමින් පූරන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ කීමෝ පෝල් පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක්ද, කේරි පෙයිරි පන්දු 18 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 21 ක්ද රැස්කළ නමුත් ඔවුන්ට කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 387 ක් රැස්කළ අතර රෝහිත් ශර්මා (159) සහ ලොකේෂ් රාහුල් (102) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 222 කදී ලකුණු 227 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. පන්දු 138 කට මුහුණදුන් ශර්මා හයේ පහර 5 කින් සහ හතරේ පහර 17 කින් සිය 28 වැනි එක්දින ශතකය සැරසූ අතර පන්දු 104 කදී වාර්තා වූ රාහුල්ගේ තෙවැනි එක්දින ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සමන්විත විය.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරුව පිටියේ එක්වූ ශ්‍රෙයාස් අයියර් පන්දු 32 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 53 ක්ද, රිෂාබ් පාන්ට් පන්දු 16 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව වේගයෙන් ඉහළ දැමූහ. කේදර් ජාදව් පන්දු 10 කදී නොදැවී ලකුණු 16 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

ඉන්දීය පිල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 387
(රෝහිත් ශර්මා 159, ලොකේෂ් රාහුල් 102, ශ්‍රෙයාස් අයියර් 53, රිෂාබ් පාන්ට් 39, කේදර් ජාදව් 16, ෂෙල්ඩරන් කොට්ට්‍රෝල්  83/2)

කොදෙව් පිල - ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 280  
(එවින් ලුවිස් 30, ශායි හෝප් 78, නිකලස් පූරන් 75, කීමෝ පෝල් 46, කේරි පෙයිරි 21, මොහොමඞ් ශාමි 39/3, කුල්දීප් යාදව් 52/3, රවින්ද්‍ර ජදේජා 74/2)

-036

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.