Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයර්ලන්තය වේලාසනින්ම අලි අමාරුවක
පළමු ටෙස්ට් තරගය

අයර්ලන්තය වේලාසනින්ම අලි අමාරුවක

editorial - 2023 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

තවමත් ටෙස්ට් තරග 4 කට පමණක් සහභාගි වී ඇති අයර්ලන්තය හමුවේ අනුකම්පා විරහිත තරගයක යෙදී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීම සංචාරක කණ්ඩායම අලි අමාරුවක හෙ`ඵෑහ. සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 591 ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) ඕවර 45 ක් ඇතුළතදී අයර්ලන්ත කණ්ඩායමේ කඩුලු 7 ක් බිම දමා ගත්හ.
 
තරගයේ තවත් දින 3 ක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබුණත් අයර්ලන්ත මුල් ඉනිමේදී ඉතිරිව ඇත්තේ කඩුලු 3 ක් පමණි. ඉනිමක පරාජයෙන් බේරීම කෙසේ වෙතත්, පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර නොදීමට නම් අයර්ලන්තය තවත් ලකුණු 274 ක් ලබාගත යුතුව තිබේ.

අයර්ලන්තය මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග 4 ම පරාජය වී ඇති නමුත්, තවමත් ටෙස්ට් තරගයක් ඉනිමකින් පරාජය වී නැත.

ගාල්ල ක්‍රීඩාංගණයේදී තමන්ගේ සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන ගිය වමත් දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය ඕවර 19 කදී කඩුලු 5ක් දවාගනිමින් තමන්ගේ ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 38 ක් දක්වා ඉහළ දමාගත්තේය. පසුගිය ජූලි මාසයේදී ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ප්‍රභාත්, මේ දක්වා දවාගත් ටෙස්ට් කඩුලු 38 න් කඩුලු 34 ක්ම දවාගෙන ඇත්තේ ගාල්ලේදීය.

දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ඊයේ නතර කළ තැනින් ආරම්භ කළ දිනේෂ් චන්දිමාල් (නොදැවී 102) සහ සධීර සමරවික්‍රම (නොදැවී 104) දෙදෙනා, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 6 ක් දැවී 591 ක් දක්වා ඉහළ දැමූහ. චන්දිමාල් සහ සමරවික්‍රම දෙදෙනා අතර හත්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැති අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 183 ක් වූ අතර එය හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගාල්ලේදී පැවැති හොඳම සම්බන්ධතාව සම කිරීමක් ද වන්නේය.

පසුගිය ජූලි මාසයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදීම අති විශිෂ්ට ද්විත්ව ශතකයක් ලබාගත් චන්දිමාල් එතැන් සිට මේ දක්වා ටෙස්ට් ඉනිම 9 කදී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 553 කි. ද්විත්ව ශතකයෙන් මෙපිට චන්දිමාල්ගේ ටෙස්ට් ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 76, නොදැවී 94, 80, 21, 39, 42, 37, 62 සහ නොදැවී 102 ක් ලෙසිනි. මෙම කාල වකවානුවේදී චන්දිමාල්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 79.00 කි. අද දිනයේ චන්දිමාල්ගේ අපරාජිත පිතිහරඹය හතරේ පහර 12 කින් සමන්විත විය.

එය චන්දිමාල්ගේ 14 වැනි ටෙස්ට් ශතකය මෙන්ම ගාල්ල ක්‍රීඩාංගණයේදී ලබාගත් පස්වැනි ටෙස්ට් ශතකයද වූයේය.

වසර පහමාරකට පසුව ටෙස්ට් පිටියට පිවිසි සධීර සමරවික්‍රම තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් සිය මංගල ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේය. පන්දු 112 කින් පැමිණි සධීරගේ අර්ධ ශතකයට හතරේ පහර 11 ක් ඇතුළත් වී තිබුණු අතර වඩාත්ම වැදගත් සංසිද්ධිය වූයේ ශ්‍රී ලාංකික කඩුලු රකින්නකු වසර 7 කට පසුව ලබාගත් ටෙස්ට් ශතකයක් ලබාගැනීමයි. 2016 නොවැම්බර් මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවරදී ලකුණු 110 ක් ලබාගත් කුසල් ජනිත් පෙරේරා අවසන් වරට ටෙස්ට් ශතකයක් ලබාගත් ශ්‍රී ලාංකික කඩුලු රකින්නා විය.

අද පෙරවරුවේදී තරගය ආරම්භ වී යැවුණු පළමු ඕවරය, ඉතාමත් දුර්ලභ නොයිඳුල් ඕවරයක් විය. අද දින දිවා ආහාරයට පෙර යැවුණු ඕවර 116 න් නොයිඳුල් ඕවර තිබුණේ 8 ක් පමණි. එහෙත් දෙවැනි ඕවරයේදීම කර්ටිස් කැම්පර් හමුවේ ප්‍රභාත් ජයසූරිය දැවී ගියේය. අලංකාර හතරේ පහර 3 කින් ලකුණු 12 ක් ලබාගත් ධනංජය ද සිල්වා සිය සුපුරුදු රිද්මයට පිවිස සිටි නමුත් ඇන්ඩි මැක්බ්‍රයින් හමුවේ ගැසූ කම්මැලි පහරක් හේතුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.


අදහස් (0)

අයර්ලන්තය වේලාසනින්ම අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.