Last Update  :  2025-08-16 21:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගනී

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගනී

editorial - 2019 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 13 ක්‍රිකට් දිවියට තිත තබමින් සියලුම ආකාරයේ ක්‍රිකට් තරග වලින් සමුගැනීමට දඟපන්දුවෙන් දස්කම් දැක්වූ අජන්ත මෙන්ඩිස් තීරණය කර තිබේ. 34 වැනි වියෙහි පසුවන මෙන්ඩිස් අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2015 දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිව එක්දින තරගයකදීය. 

කැරම් පුවරුවේ ඉත්තන්ට පහරදෙන ආකාරයෙන් දබරගිල්ල උපයෝගී කරගනිමින් පන්දු යැවීම හේතුවෙන් අජන්ත මෙන්ඩිස්ගේ පන්දුව ‘කැරම් බෝල්’ යනුවෙන්ද ප්‍රසිද්ධියට පත්විය.

2008 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව එක්දින වරම් හිමිකරගත් මෙන්ඩිස් වඩාත් කථාබහට ලක්වූයේ ආසියානු කුසලාන තරගාවලියේදීය. කරච්චි නුවරදී පැවැති අවසන් තරගයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 13 කට කඩුලු 6 ක් දවාගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු 100 ක ජයක් ගෙනදිමට සමත්විය. එම තරගාවලියේ තරග 4 කදී කඩුලු 11 ක් දවාගැනීමට මෙන්ඩිස් සමත්විය. එක්දින තරග 19 කදි කඩුලු 50 ක් දවාගනිමින් අඩුම තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් දවාගත් ක්‍රීඩකයා ලෙස තැබූ වාර්තාව අජන්ත මෙන්ඩිස්ගේ නම ඉදිරියෙන් තවමත් සටහන්ව ඇත.

එක්දින තරග 82 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මෙන්ඩිස් කඩුලු 152 ක් දවාගෙන ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ පසුවන්නේය. එක්දින තරග වලදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 21.83 කි.

ඉන්දියාවට එරෙහිව 2008 වසරේදී ටෙස්ට් වරම් හිමිකරගත් මෙන්ඩිස් මංගල තරගයේදීම මුත්තයියා මුරලිදරන් සමගින් එක්ව ඉන්දීය පිතිකරුවන් මෙල්ල කරමින් කඩුලු 8 ක් දවාගැනීමට සමත්විය. ලංකාවේදී පැවැති එම තරගාවලියේ තරග 3 කදී කඩුලු 26 ක් දවාගනිමින් මංගල තරගාවලියේදීම තමන් දක්ෂ පන්දු යවන්නෙක් බව ලෝකයට පෙන්විය.

විස්සයි20 තරග 39 කදී කඩුලු 66 ක් දවාගෙන ඇති මෙන්ඩිස්ගේ කඩුලු දවාගැනීමේ සාමාන්‍යය 14.42 කි. ඕවර 4 කදී නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 8 කට කඩුලු 6 ක් දවාගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලොව හොඳම විස්සයි20 පන්දු යැවීම වාර්තා කළ මෙන්ඩිස් අවස්ථා 2 කදී කඩුලු 6 බැගින් දවාගත් පළමු සහ එකම පන්දු යවන්නා ලෙසද වාර්තා පොත් අතර තවමත් රැඳී සිටින්නේය. ඕස්ටේ්‍රලියාවට එරෙහිව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලකුණු 16 කට කඩුලු 6 ක් දවාගත් අනෙක් අවස්ථාව වන්නේය.

එවක ලෝකයේ සිටි බොහෝ භයානකම දඟ පන්දු යවන්නෙකු ලෙස ඉදිරියට පැමිණි මෙන්ඩිස්, මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ඔහුගේ අඩුව පිරවීමට යොදාගැනීමට සිටි පන්දු යවන්නෙකි. පිතිකරුවන්ට මහත් හිසරදයක්වූ අජන්ත මෙන්ඩිස් 2009 සහ 2012 වසර වලදී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන්හිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ හොඳම දඟපන්දු යවන්නා ද විය.

තවමත් යුධහමුදා සේවයේ නිරතවන අජන්ත මෙන්ඩිස් මෙවර පළමුපෙල තරගාවලියේදී ‘බී’ කාණ්ඩයෙන් තරග වැදුණු පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එහි නායකත්වය දැරීය. පන්දුවෙන් තරග දිවිය ආරම්භ කළද මේ වනවිට පිතිකරුවකු ලෙස දස්කම් දැක්වූ මෙන්ඩිස් අවසන් ඉනිම 10 තුලදී අර්ධ ශතක 4 ක් ලබාගැනීමට සමත්වී තිබේ. 

 


අදහස් (0)

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.