සුබවාදී බලාපොරොත්තු තවමත්
කෝවිඩ් - 19 වයිරසයේ බලපෑමට හසුවූවත් මේ වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සාර්ථක එකක් වනු ඇතැයි එහි සංවිධායකයන් වන අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙන්ම ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් මණ්ඩලය තවමත් සුබවාදී බලාපොරොත්තු රඳවාගෙන සිටී.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දින වෙන්කර තිබේ.
මෙම දින වෙන්කර ඇත්තේ ඕස්ටේ්‍රලියාවේ ජනප්‍රියම ක්‍රීඩා දෙකක් වන
ඕස්ට්‍රේලියානු තාලයේ පාපන්දු ක්‍රීඩාව (ඒ.එෆ්.එල්) සහ ඕස්ට්‍රේලියානු රග්බි තරගාවලිය නිමා වීමෙන් පසුව ආරම්භ වන ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වාරයට එය ඇතුළත් කරමිනි. එහෙත් කෝවිඞ් - 19 වයිරසයේ බලපෑම හේතුවෙන් ඕස්ට්‍රේලියානු තාලයේ පාපන්දු ක්‍රීඩාව (ඒ.එෆ්.එල්) සහ ඕස්ට්‍රේලියානු රග්බි තරගාවලිය කල්දැමීමට සිදුව තිබේ.
ඕස්ට්‍රේලියානු තාලයේ පාපන්දු ක්‍රීඩාව (ඒ.එෆ්.එල්) සහ ඕස්ට්‍රේලියානු රග්බි තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන් අති විශාල සංඛ්‍යාවකගේ ලැදියාව ඇති හෙයින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ රූපවාහිනී නරඹන්නන් සංඛ්‍යාව අඩුවීමට ඉඩ ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව සමග නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යන ඇතැම් වාණිජ සමාගම් පෙන්වා දී තිබේ.
“ඕස්ට්‍රේලියානුතාලයේ පාපන්දු ක්‍රීඩාව (ඒ.එෆ්.එල්) සහ ඕස්ට්‍රේලියානු රග්බි තරගාවලිය මේ කාලයේදීම පැවැත්වීමට තීරණය කළත් එක දෙයක් ගැන හිතන්න ඕස්ට්‍රේලියානුවන්ට සිදු වෙනවා. ඒ තමයි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය තවත් අවුරුදු 10 කින් හෝ 20 කින් මෙපිට ඕස්ට්‍රේලියාවට ලැබෙන්නේ නැතැයි කියන එක” යයි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි සංවිධාන කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලී මහතා ඕස්ට්‍රේලියානු ඒකබද්ධ පුවත් සේවයට පැවසීය.
“ක්‍රිකට් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජාතික ක්‍රීඩාව. ඒ ක්‍රීඩාවේ ලෝක කුසලාන තරගාවලියට මිනිස්සු කැමතියි”
“ඇරත් විස්සයි-20 කියන්නේ වඩාත්ම පුළුල් අයුරින් සියලුම ජන කොට්ඨාස අතරට යන ක්‍රිකට් ක්‍රීඩාවයි... තරගාවලියේ ප්‍රවේශ පත් විකිණීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටට පත්ව සිටිනවා” යයිද හොක්ලි මහතා පැවසීය.
ඉකුත් පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ඉතාමත් සාර්ථක තරගාවලියක් වුවත් එම තරගාවලියේ නිමාවත් සමගම ඇතිවූ කොරෝනා වයිරසයේ ලෝක ව්‍යාප්තිය හේතුවෙන් ලෝකය පුරා ක්‍රීඩා තරග සියල්ලම නතර කර දැමිණ. විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පැවැත්වූයේ මාර්තු 8 වැනිදාය. එහිදී ඉන්දියාව පරාජය කළ ඕස්ට්‍රේලියානු කාන්තාවෝ තමන්ගේ ලෝක කුසලානය ආරක්‍ෂා කරගත්හ.
පිරිමි කණ්ඩායම් සඳහා වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියද කාන්තා තරගාවලිය මෙන්ම සාර්ථක එකක් වේය යන්න සංවිධායකන්ගේ අපේක්‍ෂාවයි. තරගාවලියේ දින වෙනසක් හෝ වෙනත් වෙනස්කමක් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව තවමත් කිසිවක් ප්‍රකාශ කර නැත. හොක්ලි මහතා බලාපොරොත්තු වන්නේ කිසිදු වෙනසක් අවශ්‍ය නොවන බවයි.
“දැනට තියෙන සැලසුම් සමගින් ඉදිරියට යාම අපේ එකම බලාපොරොත්තුවයි. ඒ නිසා හදිසියේ තීරණ ගන්න අවශ්‍ය නෑ... ඒ කොහොම වුණත් කිසියම් ප්‍රශ්නාර්ථයක් මතුවුණොත් ඒ වෙලාවට අපි තියෙන සියලුම විකල්ප ගැන සිතා බලනවා” යයිද නික් හොක්ලි මහතා පැවසීය.
වසර හයකට ඉහතදී (2014 දී) විස්සයි-20 ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වතාවේදී ප්‍රධාන තරගාවලියට පෙර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට මුහුණ දීමට සිදුව තිබේ.
මෙම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්තය (ඔක්තෝබර් 18), පැපුවා නිව් ගිනියාව (ඔක්තේබර් 20) සහ ඕමානය (ඔක්තෝබර් 22) සමග තරග වැදීමට නියමිතය. එහිදී කාණ්ඩ දෙකකින් තරගාවලිය පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයන්හි පළමු සහ දෙවැනි ස්ථාන දිනාගන්නා කණ්ඩායම් පමණක් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට එක්වෙයි.
ඒ.එෆ්.පී / රොයිටර් ඇසුරිනි
- 213
ඡායාරූපය : රොයිටර්