Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා පළමු ඉනිම 271

ශ්‍රී ලංකා පළමු ඉනිම 271

editorial - 2019 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕවර 85.5 කදී - 10/271

තේ පානය නිමවී ඕවර 7.5 ක් යැවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 271 කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී පාකිස්තානයට වඩා ලකුණු 80 ක් ඉදිරියෙන් සිටියි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශහීන් අෆ්රිඩි ලකුණු 77 කට කඩුලු 5 ක් දවාගත් අතර ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මොහොමඩ් අබ්බාස් ලකුණු 55 කට කඩුලු 4 ක් බිඳහෙළීය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ ඩිල්රුවන් පෙරේරා හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 48 ක් රැස්කළ අතර සිය 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය. ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි ළහිරු කුමාරට මුහුණදීමට හැකි වූයේ පන්දු 2 කට පමණි.

...................................................................................................................................

ඕවර 78 කදී - 8/251 

තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 215 ක් ලබා පාකිස්තානයට වඩා ලකුණු 60 ක් ඉදිරියෙන් සිටියේය. ඒ වන විට කඩුල්ලේ රැදී සිටි ඩිල්රුවන් පෙරේරා ලකුණු 35 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි විශ්ව ප්‍රනාන්දු ලකුණු ලබාගැනීම ආරඹා නොසිටියේය.

දිවා ආහාරයත් තේ පානයත් අතර ක්‍රියාත්මක වූ ඕවර 23 තුළදී ලකුණු 81 ක් රැස් කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට දිනේෂ් චන්දිමාල් (74) සහ ඩිල්රුවන් පෙරේරා සමත් විය.

හාරිස් සොහේල්ගේ පන්දුවක් හමුවේ පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි ශාන් මසූද් අතට උඩ පන්දුවක් දෙමින් චන්දිමාල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. පිටියෙන් ඉවත්ව යන විට චන්දිමාල්ගේ ඉනිම හතරේ පහර 10 කින් සමන්විත වී තිබිණ.

...................................................................................................................................

ඕවර 65 කදී - 7/197

දිවා ආහාරයෙන් අනතුරුව පාකිස්තාන පන්දු යවන්නන් ක්‍රියාත්මක කරන ලද ඕවර 10 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 27 ක් පමණි. එහිදී හතරේ පහර 3 ක් ලකුණු 21 ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ලගේ කඩුල්ල බිඳ දැමීමට මොහොමඩ් අබ්බාස් සමත් විය.

ඕවර 65 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 197 ක් ලබා සිටි අතර ඒ වන විට දිනේෂ් චන්දිමාල් හතරේ පහර 6 ක් සමග ලකුණු 52 ක්ද, ඩිල්රුවන් පෙරේරා  ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

මෙම තරගයේදී සිය 18 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට චන්දිමාල් සමත් වූ අතර  අවසන් වරට ඔහු ටෙස්ට් අර්ධ ශතකයක් ලබාගෙන තිබුණේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී නවසීලන්තයට එරෙහිවය. ඉන් අනතුරු ටෙස්ට් ඉනිම් 6 ක් ක්‍රීඩා කළද ඔහුට ලකුණු 50 සීමාව පසුකර යෑමට නොහැකි වී තිබිණ. 

...................................................................................................................................

ඕවර 55 කදී - 6/170

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 170 ක් ලබා පාකිස්තාන කණ්ඩායමට වඩා තවත් ලකුණු 21 ක් පසුපසින් සිටියේය. ඒ වන විට දිනේෂ් චන්දිමාල් හතරේ පහර 5 ක් සමග ලකුණු 42 ක්ද, නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 2 ක් සමග ලකුණු 10 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පන්දු 87 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් ඉතා ඉවසීමකින් යුතුව පන්දුවට පහරදෙමින් සිටි චන්දිමාල්, දුර්වල පන්දු තෝරා බේරා ගනිමින් ලකුණු රැස්කරන අතර ඊට හාත්පසින් වෙනස් පිතිහරඹයක නිතර වෙන දික්වැල්ල ස්වීප්, රිවස් ස්වීප් සහ ඩිල්ස් කූප් වැනි පහර උපයෝගි කරගනිමින් ලකුණු රැස්කිරීමේ උත්සාහයක නිතරව සිටියි.

ශ්‍රී ලංකා ඉනිමේ හයවැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 67 කට සීමා කරමින් ධනංජය ද සිල්වා (32) පිටියෙන් ඉවත් කිරීමට ශහීන් අෆ්රිඩ් සමත් විය. මොහොමඩ් අබ්බාස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි ධනංජය හයේ පහරකින් සහ හතරේ පහර 2 කින් සිය ඉනිම සරසා තිබිණ.

...................................................................................................................................

ඕවර 45 කදී - 5/140

පාකිස්තාන පන්දු යවන්නන් වෙහෙසට පත්කරමින් පන්දුවට පහර දෙමින් සිටින දිනේෂ් චන්දිමාල් (නොදැවී 28) සහ ධනංජය ද සිල්වා (නොදැවී 30) ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60 ක නොබිඳණ සම්බන්ධතාවක් ගොඩනැගූහ.

ඒ අනුව ඕවර 45 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 140 ක් ලබා සිටි අතර චන්දිමාල් හතරේ පහර 4 ක් සමගද, ධනංජය හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගද ලකුණු රැස්කළහ.

පාකිස්තාන කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන යසීර් ෂා, ශ්‍රී ලංකා ඉනිමේ 35 වැනි ඕවරයේ සිට දිගින් දිගටම පන්දු යැවීමේ නිරත වුවද ඔහුට කඩුල්ලක් දවාගැනීමට නොහැකි විය.

...................................................................................................................................

ඕවර 35 කදී - 5/98

ඕවර 35 ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 98 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි අතර ඒ වන විට දිනේෂ් චන්දිමාල් හතරේ පහර 2 ක් සමග ලකුණු 13 ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ඊයේ පස්වරුවේ රාත්‍රී මුරකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණියට අද දිනයේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට මොහොමඩ් අබ්බාස් ඉඩක් ලබා නොදුන් අතර දෙවැනි ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි අසාද් ශෆීක් අතට උඩ පන්දුවක් දෙමින් ඇඹුල්දෙණිය ලකුණු 13 කට දැවී ගියේය.

පන්ද1 44 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 13 කට දැවී ගියේ ශහීන් අෆ්රිඩ්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් අතට පහසු උඩ පන්දුවක් දෙමිනි.

...................................................................................................................................

ඕවර 25 කදී - 3/78

දෙවැනි දිනයේදී පාකිස්තානය පන්දු යවන්නන් විසින් යවන ලද මුල් ඕවර 6 තුළදී ඔවුන්ට කඩුල්ලක් දවාගැනීම සඳහා ඉඩක් ලබා නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ඒ අනුව ඕවර 25 ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රවීනතම පිතිකරුවා වන ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහරක් සමග ලකුණු 11 ක්ද, ඊයේ පස්වරුවේ රාත්‍රී මුරකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය හතරේ පහරක් සමග ලකුණු 13 ක්ද ලබා ඒ වන විට කඩුල්ලේ රැදී සිටියහ.

...................................................................................................................................

පෙරවරු 10.30

දෙවැනි දිනය සඳහා තරගය ආරම්භ කිරීමට සියල්ල සූදානම්. පන්දුවට පහරදීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ ලසිත් ඇඹුල්දෙණිය පිටියට පිවිසෙති. ශ්‍රී ලංකා ඉනිමේ 20 වැනි ඕවරය යැවීම සඳහා නසීඹ් ෂා කැඳවයි.

...................................................................................................................................

ඕවර 19 කදී - 3/64

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 64 ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවත් කඩුලු 7 ක් අතැතිව පාකිස්තාන කණ්ඩායමට වඩා ලකුණු 127 ක් පසුපසින් සිටියි.

පළමු දිනය අවසානයේ ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහරක් සමග ලකුණු 8 ක්ද, රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 3 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. 

දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටි නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක් ලබා සිටියදී මොහොමඩ් අබ්බාස්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. කුසල් මෙන්ඩිස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අබ්බාස් ඉඩක් ලබා නොදුන් අතර හැරිස් සොහේල් අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට කුසල් ලබා සිටියේ ලකුණු 13 ක් පමණි.

...................................................................................................................................

ඕවර 10 කදී - 1/36

ඕවර 10 ක් නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී සිය පළමු ඉනිම සඳහා ලකුණු 36 ක් ලබා සිටියේය. ඒ වන විට නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් ලබා එක් අන්තයක රැදී සිටි අතර ‍අනෙක් අන්ත‍යේ රැදී සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 2 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඕෂධ ප්‍රනාන්දු ලකුණු 4 කට දැවී ගියේ ශහීන් අෆ්රිඩිගේ පන්දුවක් හමුවේ මොහොමඩ් රිස්වාන් අතට උඩ පන්දුවක් දෙමිනි. ඕෂධගේ පිත්තේ දාරයේ වැදී ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට කඩුලු රකින්නා සමත් වුවද, ප්‍රධාන විනිසුරු එය දැවී යෑමක් ලෙස සංඥා නොකළේය.

කෙසේ වුවත් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය යොදා ගනිමින් එය තෙවැනි විනිසුරු වෙත යොමු කිරීමට පාකිස්තාන කණ්ඩායමේ නායක අසාර් අලී පියවර ගත් අතර අල්ට්‍රා ඒජ් තාක්ෂණය මගින් ඒ පිළිබඳ පරික්ෂා කර බැලූ තෙවැනි විනිසුරුවරයා එය දැවී යෑමක් බවට තහවුරු කළේය. ...................................................................................................................................

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සමගින් ඕෂධ ප්‍රනාන්දු පිටියට පිවිසෙයි. පළමු ඕවරය යැවීම සඳහා ශහීන් ෂා අෆ්රිඩි සූදානම්.


අදහස් (0)

ශ්‍රී ලංකා පළමු ඉනිම 271

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.