ශ්‍රී ලංකාව පියවර දෙකක් ඉදිරියෙන්
වසරක පමණ කාලයකට පසුවු ටෙස්ට් ලෝක ශූරතාවලියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමත්, දකුණු අප්‍රිකාවත් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (26 වැනිදා) සෙන්චූරියන්හිදී ආරම්භ වේ. කණ්ඩායම් දෙකේම අභිප්‍රාය ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළට නැඟීම වූවත් ලබන වසරේ ජූලි මාසයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේ අවස්ථාවක් ලබාගැනීමට කණ්ඩායම් දෙකටම හැකියාවක් නැත.
ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාවද වසරකට ආසන්න කාලයක් ටෙස්ට් තරග වලට ක්‍රීඩා කර නැත. එම කාලය පුරා සුදු පැහැ පන්දුවෙන් සීමිත ඕවර (එක්දින සහ විස්සයි-20) තරග කිහිපයකටම ක්‍රීඩා කිරීමෙන් පසුව නැවත වරක් සුදු ඇඳුමින් සැරසී රතු පැහැ පන්දුවත් සමගම ගනුදෙනු කිරීමට සිදුවන බැවින් අද ඇරඹෙන තරගාවලිය දෙපිලේම ක්‍රීඩකයන්ට වැඩි බරක් ගෙනෙනු ඇත.
ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලිය වූයේ පසුගිය ජනවාරියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව සිම්බාබ්වේහිදී පැවැති තරගාවලියයි. තරග 2 කින් සමන්විත වූ එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල 1-0 ක ජයක් ලබාගත්තේය. දකුණු අප්‍රිකානුවන්ගේ අවසන් ටෙස්ට් තරගාවලිය වූයේ පසුගිය ජනවාරියේදී එංගලන්තයට එරෙහිව සිය මව්බිමේදීම පැවැති තරගාවලියයි. තරග 4 කින් සමන්විත වූ එම තරගාවලියේදී දකුණු අප්‍රිකානුවෝ 3-1 කින් පරාජය වූහ.
මීට දෙවසරකට ඉහතදී ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු තරගාවලිය පැවැති ඩර්බන් සහ පෝර්ට් එළිසබෙත් ක්‍රීඩාංගණ මෙන් නොව, මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ වේග පන්දු යවන්නන්ට වඩාත් හිතකර සෙන්චූරියන් සහ ජොහැන්නස්බර්ග් නුවර පිහිටි ක්‍රීඩාංගණවලදීය.
සෙන්චූරියන් පිටිය දකුණු අප්‍රිකානුවන්ට බෙහෙවින් වාසිදායක එකක් වන්නේ මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව සෙන්චූරියන්හදී පැවැති ටෙස්ට් තරග 4 ම ජයගෙන ඇති බැවිනි. එහෙත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරග 4 දීම (ශ්‍රි ලංකාවේදී 2 ක් සහ දකුණු අප්‍රිකාවේදී 2 ක්) ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව සිටීම එහි අනෙක් පැත්තයි.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් නවතාවකින් පිටියට පිවිසීමේ බලාපොරොත්තුවකින් පසුවෙයි.එහෙත් සුරංග ලක්මාල් සහ ඕෂධ ප්‍රනාන්දු දෙදෙනාම ආබාධවලට ලක්ව සිටීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු තරමක් කඩ කරන්නකි.
නායක දිමුත් කරුණාරත්න ඊයේ වාර්තාකරුවන්ට පැවසුවේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක වුවත් දකුණු අප්‍රිකානුවන්ට තරගයක් දීමට සමත් වේග පන්දු බලඇණියක් තමන්ටද සිටින බවයි. එහෙත් ශ්‍රී ලංකා නායකයාගේ විශ්වාසය රැඳී ඇත්තේ පිතිකරුවන් කෙරෙහිය.
“මේ තරගාවලියෙදි පිතිකරුවන් තමයි වෙනස පෙන්වන්නේ... වඩාත් හොඳ පිතිකරුවන්ගෙන් සමන්විත කණ්ඩායමට තරගාවලිය ජයගැනීමේ වැඩි ඉඩක් තියෙනවා...“ යයි දිමුත් කරුණාරත්න ඊයේ පුවත් පත් වාර්තාකරුවන්ට කීවේය.
වසර දෙකකට පෙරදී දකුණු අප්‍රිකානුවන් අන්ද මන්ද කරමින් 2-0 ක තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි කිහිප දෙනකුම මෙවරත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. කඩදාසියක ලියැවෙන නම් අනුව බැලුවහොත් දකුණු අප්‍රිකානු කණ්ඩායම කලින් කණ්ඩායමට වඩා දුර්වල බවක් පෙනේ. මක්නිසාද යත් ඩේල් ස්ටේන්, කගිසෝ රබාඩා, වර්නන් ෆිලැන්ඩර් සහ ඩුඇන් ඔලිවියර්ගේ වැනි වේග පන්දු යවන්නන්ගේ සේවය දකුණු අප්‍රිකානුවන්ට අහිමිව ඇති බැවිනි. පසුගිය තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ පිතිකරු හෂීම් අම්ලාගේ ටෙස්ට් දිවියේ අවසානයද සනිටුහන් විය.
මෙම තත්ත්වය නිසා දකුණු අප්‍රිකානු පිල අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරග 9 කින් 8 ක්ම පරාජය විය. මෙම පරාජයන් වැල ආරම්භ වූයේ 2019 දී ශ්‍රී ලංකාව හමුවේ ලබාගත් 2-0 පරාජයෙනි. එදා දකුණු අප්‍රිකානුවන් පරාජය කළ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ පළමු වැනි ආසියානු කණ්ඩායම ලෙසින්ද ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්විය. ඩර්බන් තරගයේදී කුසල් ජනිත් පෙරේරා කළ පිතිහරඹය වසර 143 ක ඉතිහාසයක් ඇති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් කළ හොඳම පිතිහරඹය ලෙසින් අදටත් පිළිගැනේ.
අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට 5 වැනි ස්ථානයත් දකුණු අප්‍රිකාවට 6 වැනි ස්ථානයත් හිමිවී තිබේ. එහෙත් අන්තර්ජාතික ටෙස්ට් ශූරතාවලියේදී නම් ශ්‍රී ලංකාව 6 වැනි ස්ථානයේ සිටින අතර දකුණු අප්‍රිකාව 8 වැනි ස්ථානයට වැටී තිබේ. මෙම සංඛ්‍යාත්මක දත්ත අනුව මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානුවන්ට වඩා පියවර දෙකක් ඉදිරියෙන් සිටින නමුත් 1992 දක්වා දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාව දෙස හැරී බැලීමේදී දකුණු අප්‍රිකාව ඉතා දැඩි පසුබෑමකට ලක්ව තිබේ.
වර්ණභේදවාදය හේතුවෙන් 1971 සිට 1992 දක්වා අන්තර්ජාතික ක්‍රිකට් තහනමකට මුහුණ දුන් දකුණු අප්‍රිකාව වසර 1992 දී නැවතත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසියේ ශ්‍රී ලංකාවේ උදව්වෙනි. ඒ 1991 දී දකුණු අප්‍රිකාවේ කළු ජාතික නායකයාව සිටි නෙල්සන් මැන්ඩෙලා මහතා එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය ඉසිලූ ආර්. ප්‍රේමදාස මහතාගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසිනි.
දිගින් දිගටම ලද පරාජයන් හේතුවෙන් දකුණු අප්‍රිකානු නායකත්වයේ වෙනසක්ද සිදුවී තිබේ. ටෙස්ට් නායකයා වශයෙන් සිටි ෆෆ් ඩු ප්ලෙසිස් ඉල්ලා අස්වීමත් සමඟම ටෙස්ට් පිලේ නායකයකු සොයාගත නොහැකිව දකුණු අප්‍රිකානු තේරීම් කමිටුවද අමාරුවේ වැටී සිටී. එ්ඩ්න් මාක්රම් අනාගත නායකයකු ලෙසින් කල් තබාම හඳුනාගෙන සිටි නමුත් ඊට පෙර ඔහු කණ්ඩායමේ ස්ථානය ස්ථිර කරගතයුතු බව තේරීම් නිලධාරීහු කියති.
මෙවර තරගාවලිය සඳහා ක්වින්ටින් ඩි‘කොක් නායකත්වයට පත්කර ඇත්තේද තාවකාලිකවය. කෙසේ වෙතත් හිටපු නායක ෆෆ් ඩු‘ප්ලෙසි ක්‍රීඩකයකු වශයෙන් කණ්ඩායමේ රැඳී සිටී.
ඩී කොක්ගේ පත්වීම තාවකාලික නමුත් ශ්‍රී ලංකා පිලේ වත්මන් නායක දිමුත් කරුණාරත්න 2018/19 තරග සමයේ මුහුණ දුන්නේද එවැනිම තත්ත්වයකටය. ඔහුද තාවකාලික නායකයෙකු ලෙස පත්කරනු ලැබුවද ක්‍රීඩකයන් තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම සඳහා දිමුත් සාර්ථක කාර්යභාරයක් කළේය. එබැවින් දිමුත් තවමත් නායකත්වයේ රැඳී සිටියි.
දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය තරමක් අලුත් වන නමුත් පිතිකරුවන්ට සෑහෙන පීඩනයක් එල්ල කිරීමට ඔව්හු සමත් වෙති. ඇන්රික් නෝයේ ලොව වේගවත්ම පන්දු යවන්නන්ගෙන් කෙනෙකු වන අතර ලුන්ගි න්ගිඩි ආබාධයකට ලක්ව නැවත ක්‍රීඩා පිටියට පැමිණ ඇති බැවින් ඔහුගෙන්ද හොඳ දස්කම් අපේක්ෂා කළ හැකිය. නියමිත ඉලක්කයට පන්දු යැවීමේ කීර්තියන් උසුළන ග්ලෙන්ටන් ස්ටුවර්මන් හිටපු ක්‍රීඩක වර්නන් ෆිලැන්ඩර්ට ආදේශකයක් වනු ඇත.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මිනොද් භානුක, ළහිරු තිරිමාන්න, ලසිත් ඇඹුල්දෙණිය, වනිඳු හසරංග, ඩිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, දසුන් ෂානක, සන්තුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක
දකුණු අප්‍රිකානු සංචිතය
ක්වින්ටන් ඩි කොක් (නායක), ටෙම්බා බාවුමා, ෆෆ් ඩු ප්ලෙසිස්, ඩීන් එල්ගා, සාරෙල් අර්වී, කේෂව් මහරාජ්, ඒඩ්න් මාක්රාම්, වියාන් මල්ඩර්, ලුන්ගි න්ගිඩි, ඇන්රික් නෝයේ, ඩ්වේන් ප්‍රිටෝරියස්, මිගෙල් ප්‍රිටෝරියස්, ලූතෝ සිම්පාලා, ග්ලෙන්ටන් ස්ටුවර්මන්, රාසි වැන්ඩර් ඩසන්, රේනාර් වැන්ටොන්ඩර් සහ කයිල් වරීන්
විනිසුරුවරු :
මාරියස් ඉරැස්මස් සහ ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් (දකුණු අප්‍රිකාව)
රූපවාහිනී විනිසුරු:
අලාවුදීන් පලකර් (දකුණු අප්‍රිකාව)
තරඟ තීරක:
ඇන්ඩි පයික්‍රොෆ්ට් (සිම්බාබ්වේ)
