Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සත්තාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (28 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව ලකුණු 65 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිටියේය. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක නිරතවන ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා තවත් ලකුණු 160 ක් පසුපසින් සිටින්නේය.
මේ වනවිට ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත ආබාධ වලට ලක්වී ඇති බැවින් ඔවුන්ට පන්දුවට පහරදීම සඳහා පැමිණීමට නොහැකි තත්වයක් උදාවී ඇත. එමෙන්ම අද පන්දු යවමින් සිටියදී ළහිරු කුමාරද ආබාධයකට ලක්වූ අතර ඔහුගේ තත්වය පිළිබඳව මේ වනවිට පැහැදිලි විස්තරයක් දැනගන්නට නොමැත. යම්සිකි හෙයකින් ඔහුටද පන්දුවට පහරදීමට නොහැකි තත්වයක් උද්ගතවුවහොත් කඩුලු 7 ක් දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ දෙවැනි ඉනිම අවසන් වනු ඇත.
කුසල් පෙරේරා ලකුණු 33 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 21 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමට නම් ඔවුන් දෙදෙනා එක්ව දිගු ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු සංඛ්‍යාව ඉහළ දැමිය යුතුව ඇත.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 6 කට පිටියෙන් ඉවත් කළ ලුන්ගි න්ගිඩි ලකුණු ලබාගැනීමට පෙරම කුසල් මෙන්ඩිස්ද පිටියෙන් ඉවත් කිරීමට සමත්විය. මුල්පෙළ පිතිකරුවන් දෙදෙනෙකු ඉක්මනින් දැවීයාමත්, ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට ආබාධ හේතුවෙන් පන්දුවට පහරදීමට නොහැකිවීමත් හේතුවෙන් ශ්‍රී ලංකා පිල තවත් ආඝාදයට වැටුණි.
ෆෆ් ඩු ප්ලෙසීස්ගේ (199) ශතකයත්, ඩීන් එල්ගාර් (95), ඒඞ්න් මාර්ක්රම් (68), ටෙම්බා බවුමා (71) සහ කේෂව් මහරාජ්ගේ (73) අර්ධ ශතක හමුවේ සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 621 ක් රැස්කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.
10 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ෆෆ් ඩු ප්ලෙසීස්ට සිය මංගල ද්විත්ව ශතකය ලකුණකින් අහිමිව ගියේය. වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ මිඩෝන් කළාපයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න හට පහසු උඩපන්දුවක් ලබාදෙමින් ෆෆ් ඩු ප්ලෙසීස් ලකුණු 199 කට දැවී ගියේය. පන්දු 276 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 24 ක් ඇතුළත් විය.
දසුන් ශානකගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දුන් ටෙම්බා බව්මා ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 71 කට දැවී ගියේය. පන්දු 125 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි බව්මාගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.
ලකුණු 73 ක් රැස්කර සිටි කේෂව් මහරාජ් දකුණු අප්‍රිකානු පිලේ අවසන් කඩුල්ල ලෙස දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්විය. හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම සැරසීමට කේෂව් මහරාජ් සමත්විය.
කඩුලු 6 කට ලකුණු 609 ක් රැස්කරමින් ප්‍රබල ස්ථානයක පසුවූ දකුණු අප්‍රිකානු පිලේ අවසන් කඩුලු 4 ලකුණු 12 ක් තුල දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ටෙම්බා බව්මා සමගින් එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 179 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ෆෆ් ඩු ප්ලෙසීස් ඉන් නොනැවතී හයවැනි කඩුල්ල සඳහා වියාන් මල්ඩර් සමගින් එක්ව ලකුණු 77 ක් සහ කේෂව් මහරාජ් සමගින් හත්වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 133 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීය.
මංගල ටෙස්ට් තරගයට සහභාගිවන වනිඳු හසරංග කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් සහ දසුන් ශානක කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ළහිරු කුමාර එක් කඩුල්ලක් දවාගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.