Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International වෝනර් - ස්මිත් ඕස්ට්‍රේලියාව දිනවති

වෝනර් - ස්මිත් ඕස්ට්‍රේලියාව දිනවති

editorial - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (30 වැනිදා) සමත් විය. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමටද ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්ව සිටිති.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 13 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්තේය. ශතකයක් ලබාගනිමින් පළමු තරගයේ වීරයා බවට පත් වූ ඬේවිඞ් වෝනර්, මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 41 කදී හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 60 ක් රැස්කළේය.

මුලු ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක ඒරන් ෆින්ච් පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් විය. එහෙත් එතැන් පටන් ස්ටීවන් ස්මිත් සමග එක්වූ වෝනර්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 75 කදී ලකුණු 117 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

තරග තහනමින් අනතුරුව සිය මව්රට තුළ ජාත්‍යන්තර තරගයකදී පන්දුවට පහරදුන් පළමු අවස්ථාවේදීම අර්ධ ශතකයක් ලබාගැනිමට ස්ටීවන් ස්මිත් සමත් වූයේ පන්දු 36 කදී හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 53 ක් රැස්කරමිනි. එහිදී ස්මිතගේ තෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගනිද්දී, වෝනර් ලබාගත්තේ සිය 14 වැනි විස්සයි20 අර්ධ ශතකයයි. තරග තහනමින් අනතුරුව සිය මව්රට තුළදී සහභාගි වූ පළමු ජාත්‍යන්තර තරගය ශතකයකින් සැමරූ ඬේවිඞ් වෝනර් 27 වැනිදා තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිදෙන්නට පහර දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. ඇඩම් සම්පා, බිලී ස්ටැන්ලේක්, ඇෂ්ටන් ආගර් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුණු කර දැමූහ.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 22 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 21 ක්ද, කුසල් පෙරේරා පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක්ද රැස්කළ නමුත් සෙසු පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.

පළමු තරගයේදී ලකුණු නොලබා දැවී ගිය ආරම්භ පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම තරගයේදීද එක් ලකුණක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවිය. පළමු තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු සහ කසුන් රාජිත වෙනුවෙට උප නායක නිරෝෂන් දික්වැල්ල, අවිෂ්ක ප්‍රනාන්දු සහ ඉසුරු උදාන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියහ.  

- 036


අදහස් (0)

වෝනර් - ස්මිත් ඕස්ට්‍රේලියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.