Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International විස්සයි-20 කණ්ඩායමේ සියුම් වෙනස්කම් කීපයක් ඕනෑ

විස්සයි-20 කණ්ඩායමේ සියුම් වෙනස්කම් කීපයක් ඕනෑ

editorial - 2020 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම – රොෂාන් ගුණරත්න)
 
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ සියුම් වෙනස්කම් කිහිපයක් කළ යුතුව ඇතැයි ජාතික කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිතව තිබුණද ඊ පෙර සුදුසුකම් ලබාගැනීමේ තරග දෙකකින් කඩුල්ල පැනගත යුතුව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එහෙරව පසුගිය මාසයේදී පැවැති එක්දින තරගාලියෙන් 3-0 ක් ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූ නමුත් විස්සයි-20 තරගාවලියේදී 2-0 ක පරාජයක් ලැබීය.

“අපේ විස්සයි-20 කණ්ඩායමේ සියුම් වෙනස්කම් කිහිපයක් කළ යුතුව තිබෙනවා..... ඉතාමත් ශක්තිමත් කොදෙව් පිල හමුවේ ඒබ ව ඉතාම පැහැදිළිව පෙන්නුම් කළා.... අපිත් එක්ක සංසන්දනය කරන කොට කොදෙව් විස්සයි-20 පිලේ ශක්තිය ඉතා ඉහළයි”යයි මිකී ආතර් මහතා පැවසීය..
 
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය අංශය විසින් කරන ලද සාකච්ඡාවකදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා දැක්වූ අදහස් පසුගියදා මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ තිබිණ.
 
“මා හිතන්නේ වඩාත්ම වැදගත් දේ වෙන්නේ අපට තියෙන සම්පත් වලින් තරග ජයගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි. ඒත් එතැන් සිට, ඒ ක්‍රමවේදය මොකක්ද කියන යථාර්තය තේරුම්ගන්න ක්‍රීඩකයන්ට වෙනවා” යයිද මිකී ආතර් මහතා පැවසීය. මිකී ආතර් මහතා පාකිස්තානය, ඕස්ටේ්‍රලියාව මෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම්ද පුහුණු කර ඇති දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.
 
මිකී ආතර් මහතා පුහුණුකරු ධූරය බාරගැනීමෙන් පසුව පාකිස්තානයේදී පැවැති ටෙස්ට් තරගාවලියකින් ශ්‍රී ලංකා පිල පරාජය වූ නමුත් සිම්බාබ්වේහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය. කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලි දෙකකින් පසුව එංගලන්තය හමුවීමට ශ්‍රී ලංකා පිල සූදානමින් සිටි නමුත් කෝවිඞ් -19 වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එම තරගාවලිය කල්දැමීමට සිදුවිය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය මිකී ආතර් මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාව මෙසේ සටහන් කෙරේ.
 
ප්‍රශ්නය:
කෝවිඩ් -19 හි ප්‍රතිඵලයක් ලෙස ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නතර වී ඇති තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර:
එය ඇත්ත වශයෙන්ම ඉතා අවාසනාවන්ත තත්වයක්. ඒත් මේ වන විට ලෝකය මුළුමනින්ම වසා දමා තියෙන්නේ. සියලුම ක්‍රීඩා සහ බොහෝ ව්‍යාපාර ඇණහිට තියෙනවා.
මෙම අවාසනාවන්ත කාලය තුළ සාමාන්‍ය ජනතාවගේ දුක්ඛිත තත්වය ගැන සොයා බැලීම තමයි වඩා වැදගත්. මෙම වසංගතයෙන් පීඩාවට පත් සියලු ජනතාව සහ පවුල් වෙත මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම වෙනත් බොහෝ ක්‍රීඩාවන් විරාම අවධියක පවතිනවා වුණත් ඉදිරියේදී මෙම තත්වයෙන් මිදී ඉතා ප්‍රබල ලෙස නැගී සිටීමට හැකිවනු ඇතැයි කියන එක තමයි මගේ විශ්වාසය.
 
ප්‍රශ්නය:
ක්‍රීඩකයින් මුළුමනින්ම ගෘහස්ථව සහ පිටියෙන් බැහැරව සිටින මෙම කාලය තුල ඔබ සහ පුහුණු කණ්ඩායම කටයුතු කරන්නේ කෙසේද?

පිළිතුර:
අපි මෙම කාලය භාවිතා කරන්නේ අපගේ වගකීම් සහගත කාලයේ පළමු මාස 3 ගැන මෙනෙහි කිරීමටයි. වසර අවසානයේදී අප විසින් මුහුණදීමට නියමිත වැදගත් තරගාවලි පිළිබඳව අපගේ තනි පුද්ගල සහ කණ්ඩායම් සැලසුම් සකස් කිරීමටත් මේ කාලය යොදා ගන්නවා. සියලුම (ටෙස්ට්/එක්දින සහ විස්සයි-20) ආකෘතීන් තුළ කණ්ඩායම පිහිටා සිටින තත්ත්වය, කාර්ය ආචාරධර්ම, සකස් කිරීමේ මට්ටම් සහ ඉලක්ක වෙත ක්‍රීඩකයින්ගේ දියුණුව සහ කැමැත්ත ලබා දීම පිළිබඳව අපි අවධානය යොමු කරනවා.
 
ප්‍රශ්නය:
ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව තබා ගැනීම, ක්‍රීඩාවට සූදානම් කිරීම සහ මානසිකව සූදානම් කිරීම සම්බන්ධයෙන් ඔබ දැනටමත් ලබා දී ඇති සැලසුම් මොනවාද?

පිළිතුර:
ක්‍රීඩකයින් සියලුදෙනාටම ඔවුන්ගේ යෝග්‍යතා මට්ටම් සමඟ ඔවුන්ගේ ජවය පවත්වා ගැනීමට තනි තනි යෝග්‍යතා සැලසුම් තිබෙනවා. මෙම සැලසුම් සකස් කර තිබෙන්නේ සෑම ක්‍රීඩකයෙකුටම නිවසේදීම අපේක්ෂිත යෝග්‍යතා මට්ටම් පවත්වා ගැනීම සඳහා ඔහු සතුව ඇති පහසුකම් වලට අනුවයි.
අපගේ අභ්‍යාසකවරුන් වන ඩිෂාන් ෆොනෙස්කා සහ පෝල් කූනි එක් එක් පුද්ගලයා සමඟ වැඩසටහන් සකස් කිරීමේදී ඉතා විශිෂ්ට වැඩකොටසක් කරනවා. මම සෑම ක්‍රීඩකයෙකුටම ව්‍යායාම යවා ඇති අතර ඔවුන් ඒවා නැවත නැවත කරමින් ඔවුන්ගේ ඇති ශක්තීන් හා දුර්වලතා මා සමඟ බෙදා ගන්නවා. මෙම ක්‍රීයාකරකම් වලට මානසික, ශාරීරික හා තාක්ෂණික ක්‍රීයාකරකම් ඇතුළත් වෙනවා. ...පුහුණුකරුවන් වශයෙන් අපට එක් එක් ක්‍රීඩකයා සඳහා අප විසින් ගොඩනගා ඇති ක්‍රීඩක සැලසුම් වලට මෙම ක්‍රියාකාරකම් එකතු කිරීමට ඉඩදි තිබෙනවා.

ප්‍රශ්නය:

ඔබ ක්‍රීඩකයන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන්නේ කෙසේද ? ඔවුන්ට නැවත උපදෙස් දෙන්නේ කෙසේද ? ඔවුන්ගේ ප්‍රගතිය තක්සේරු කරන්නේ කෙසේද?
පිළිතුර:
අධීක්ෂණ ක්‍රියාවලිය ඉතා සරල එකක්. එය එක් එක් ක්‍රීඩකයා සමඟ තනි තනිව සන්නිවේදනය කිරීමක් පමණයි.
 
ප්‍රශ්නය:
ඔබේ පුහුණු ඒකකය යටතේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරගාවලිය (3 - 0) ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. එමඟින් අපි නිවැරදි දිශාවට ගමන් කරන බවට සංඥාවක් ලබා දුන්නා, ජයග්‍රහණය පිළිබඳ ඔබේ අදහස?

පිළිතුර:
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ ප්‍රතිඵලය ගැන මම ඇත්තටම සතුටු වුණා. ක්‍රීඩකයන්ට ඔවුන්ගේ සූදානම් වීමේ සහ ඔවුන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රතිලාභ ලැබුණා. මගේ සිත් ඇදගන්නා සුළු දෙය නම් ක්‍රීඩකයන් අපිට ක්‍රීඩා කිරීමට අවශ්‍ය මොන විදිහේ ක්‍රිකට් ක්‍රීඩාවක්ද කියන එක ගැන වැටහීමක් ලැබුණා. ඔවුන් තනි තනිව තම තමන්ගේ භූමිකාවන් ක්‍රියාත්මක කිරීම ඉතා හොඳයි, එමගින් ඔවුන් සැලැස්මේ ආකාරයට සාර්ථකත්වය ලබාගන්නා ආකාරය වගේම තම තමන්ගේ කාර්යයන් නිවැරදි ආකාරයෙන් කිරීම සහ ආත්ම විශ්වාසය ගැන ඔප්පු කර තිබෙනවා.
 
ප්‍රශ්නය:
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි එක්දින තරගාවලි ජයග්‍රහණයත් සමඟ ක්‍රීඩකයන් එංගලන්ත ටෙස්ට් තරගාවලිය දෙස බලා සිටියා. ඉදිරියට යාම ගැන සලකා බැලීමේදී එම තරගමාලාව ක්‍රීඩා නොකිරීම අපට මොන ආකාරයේ පසුබැස්මක් වුණාද ?

පිළිතුර:
එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩා නොකිරීම ඇත්තෙන්ම කනගාටුවට කරුණක්. සිම්බාබ්වේ සංචාරයේදී අපගේ ටෙස්ට් කණ්ඩායම වර්ධනය වී ඇති බව මට හැඟුණා. සිම්බාබ්වේ සංචාරය ඉතා අභියෝගාත්මක එකක් වුණා වගේම අපට තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ඉතා දැඩි විනයක් ඇතිව ක්‍රීඩා කරන්න වුණා.
සියලුම කණ්ඩායම් වලට එරෙහිව සාර්ථක වීමේ ක්‍රීඩා රටාවක් අප විසින් සකස් කර තිබෙනවා. අපි නැවත පුහුණුවීම් සහ තරග ආරම්භ කරන විට අපගේ ටෙස්ට් කණ්ඩායම සමඟ අප ගොඩනගා ගත් ජවය නැති නොවනු ඇතැයි මම බලාපොරොත්තුවෙන් සිටිනවා......ටෙස්ට් කණ්ඩායමක් හැටියට අපට යථාර්ථවාදී ඉලක්ක කිහිපයක් තිබෙනවා. අනාගතයේදී දේශීය හා විදේශීය වශයෙන් සාර්ථක වීමට ක්‍රීඩකයන් වගේම ක්‍රීඩා සැලසුම් අප සතුව තියෙනවා. අපව විශ්වාස කරන්න....
 
ප්‍රශ්නය:
මෙම හුදකලා කාල පරිච්ඡේදය ඔබට සහ පුහුණු කාර්යමණ්ඩලයට කණ්ඩායම සහ ක්‍රීඩකයින් පිළිබඳ විශ්ලේෂණයන් සහ ඉදිරි සංචාර ආදිය තවදුරටත් වැඩි දියුණු කිරීමට කාලය දෙයිද?

පිළිතුර:
මෙම හුදකලා කාල පරිච්ඡේදය පුහුණු කාර්යමණ්ඩලයක් ලෙස අප විසින් සකස්කරනු ලැබ ඇති ක්‍රීඩක සැලසුම්, භූමිකාවන් සහ අරමුණු පිළිබිඹු කිරීමට කාලයක් අපට ලැබෙනවා. ලොව පුරා ඇති නැඹුරුතා පිළිබඳව අප සොයා බලමින් සිටිනවා විතරක් නෙමේ ඉදිරි වසර තුළ අපට එරෙහිව ක්‍රීඩා කිරීමට යන සියලු විරුද්ධවාදීන් විශ්ලේෂණය කරමින් සිටිනවා.
 
ප්‍රශ්නය:
බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි විස්සයි20 තරඟාවලියේදී අපි පරාජය වුණා. අපගේ විස්සයි-20 කණ්ඩායමේ අනාගතය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?

පිළිතුර:
අපේ විස්සයි-20 කණ්ඩායමේ සියුම් වෙනස්කම් කිහිපයක් කළ යුතුව තිබෙනවා..... ඉතාමත් ශක්තිමත් කොදෙව් පිල හමුවේ ඒබ ව ඉතාම පැහැදිළිව පෙන්නුම් කළා.... අපිත් එක්ක සංසන්දනය කරන කොට කොදෙව් විස්සයි-20 පිලේ ශක්තිය ඉතා ඉහළයි....මා හිතන්නේ වඩාත්ම වැදගත් දේ වෙන්නේ අපට තියෙන සම්පත් වලින් තරග ජයගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීමයි. ඒත් එතැන් සිට, ඒ ක්‍රමවේදය මොකක්ද කියන යථාර්තය තේරුම්ගන්න ක්‍රීඩකයන්ට වෙනවා.

 


අදහස් (0)

විස්සයි-20 කණ්ඩායමේ සියුම් වෙනස්කම් කීපයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.