Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිලේ ලකුණු පුවරුව දුරකතන අංකයක් ලෙසින් සටහන් කළ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දු යැවීම හේතුවෙන් ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවරදී පැවැතිවෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදීම ඉන්දියානුවෝ තරගයේ පාලනය සියතට ගත්හ. මුල් ඉනිමේදී ලකුණු 416 ක් ලබාගත් ඉන්දීය පිල වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ජස්ප්‍රීට් බුම්රාගේ පන්දු යැවීම නිසා තරගයේ දෙවැනි දිනය නිමා වන විට කොදෙව් පිල ලකුණු 87 කට කඩුලු 7 ක් අහිමිව අසරණව සිටියේය.
තරගයේ තවත් දිනතුනක්ම ඉතිරිව තිබියදීත් කොදෙව් පිල ඉන්දියානුවන්ට වඩා ලකුණු 329 ක් පසුපසින් සිටී.
කොදෙව් පිල වැඩි අවදානමකට මුහුණ දී සිටින්නේ බුම්රා මෙම තණතීරුවේදී ඉතමත් හොඳින් පන්දු යවමින් සිටින බැවිනි. ලකුණු 16 කට කඩුලු 6 ක් දවාගත් බුම්රාගේ පන්දු යැවීම කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ගේ පවා නොමඳ ප්‍රශංසාවට ලක්වී තිබිණ.
“එයා මැජික් බෝල කිහිපයක්ම යැව්වා විතරක් නෙමේ ඒවායින් අපේ පිතිකරුවන් කිහිප දෙනෙකුම දවාගත්තා” යයි කී හෝල්ඩර් ලකුණු 18 කට දැවී ගියේද බුම්රාගේ පන්දුවකිනි.
“පන්දුව ඉතාමත් ප්‍රමාද වී දෝලනය කිරීමට ඔහු සමත් වුණා. ඒක හරිම අමාරුයි. එක කෝණයකින් බලන විට පන්දුව පිතිකරුවා වෙතට දෝලනය වෙලා අවසන් මොහොතේදී පිතිකරුවාගෙන් ඉවතට ගියාම මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ...මගේ කඩුල්ල දවාගැනීම ගැන මම ඔහුට සම්පූර්ණ ගෞරවය දෙනවා” යයිද හෝල්ඩර් පැවසීය.
තරමක් අමුතු ඉරියව්වකින් නමුත් දකුණතින් පන්දු යවන බුම්රා තවමත් සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 12 කට පමණි. පිතිකරුවා වෙතට මෙන්ම පිතිකරුවාගෙන් ඉවතටත් පන්දු යවන බුම්රා....පැයට කිලෝ මීටර 140 ත් 145 ත් අතර වේගයකින් පන්දුයවයි. මේ දක්වා ටෙස්ට් කඩුලු 61 ක් දවාගෙන සිටින බුම්රා ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් තුන්වැනි ඉන්දියානුවාය.
හර්බජාන් සිං (2001 දී ඕස්ටේ්රලියාවට එරෙහිව කල්කටාවේදී) සහ ඉර්ෆාන් පතන් (2006 දී පකිස්තානයට එරෙහිව කරච්චියේදී) ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග වලදී කඩුලු ත්‍රිත්ව දවාගෙන තිබේ.
මෙම තරගාවලියේදී කොදෙව් පිතිකරු ඩැරන් බ්රාවෝ තුන් වතාවක්ම බුම්රා හමුවේ දැවී ගොස් තිබේ. පළමු ටෙස්ට් තරගයේදී බුම්රා ලකුණු 07 කට කඩුලු 5 ක් දවාගත් හෙයින් කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 100 කට සීමාවූයේ ඉන්දීය පිලට ලකුණු 318 ක ජයක් හිමිකර දෙමිනි.
බුම්රාගේ පන්දු යැවීම සම්බන්ධයෙන් කොදෙව් පිලේ වේග පන්දු යවන්නන් අතර සිටි පතාක යෝධයන් වූ කර්ට්ලි ඇම්බ්‍රෝස් සහ ඇන්ඩි රොබට්ස් මහත් ප්‍රමෝදයෙන් යුතුව කතා කරති.
“මම දැකපු හොඳම ඉන්දියානු වේග පන්දු යවන්නා ඔහුයි...මේ වගේ වේගයකින් පන්දු යවමින් ඔහුට පන්දුව දෝලනය කරන්න පුළුවන් නම් ආයෙ තවත් මොනවාද.....ඉන්දියාව සතුව කපිල් දේව් වගේම තවත් වේග පන්දු යවන්නන් හිටියා...ඒත් බුම්රා වගේ පන්දු යවන්නෙක් ඔවුන්ට නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි හිතුවේ නෑ..” යයි ටෙස්ට් තරග 47 කින් කඩුලු 202 ක් දවාගත් ඇන්ඩි රොබට්ස් පැවසීය.
ටෙස්ට් තරග 98 කදී කඩුලු 405 ක් දවාගත් වේග පන්දු යවන්නකු වන කර්ට්ලි ඇම්බ්‍රෝස් 1990 දශකයේදී කොදෙව් පිලේ වේග පන්දු බල ඇණියේ ඉදිරිපෙළේම සිටි සෙන්පතියෙකි.
“ඔහුගේ වේගය, ආක්රමණශීලිත්වය, නිර්මාණශීලිත්වය මෙන්ම ප්රචණ්ඩකාරීත්වය නිසා මට නම් හිතෙන්නේ ඔහු අපේ එකෙක් කියලයි” යයි ඇම්බ්‍රෝස් පැවසීය.
ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් මෙම තරගයේදී කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිල පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් ඉන්දියානුවෝ සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 416 ක් රැස්කළහ.
ඉන්දියාව - පළමු ඉනිම 416
(ලෝකේෂ් රාහුල් 13, මයාන්ක් අග්‍රවාල් 55, විරාට් කෝලි 76, අජින්ක්‍යා රහනේ 24, හනුමා විහාරි 111, රිෂාබ් පන්ට් 27, රවීන්ද්‍ර ජදේජා 16, ඉෂාන්ත් ෂර්මා 57, ජේසන් හෝල්ඩර් 77/5, රකීන් කොන්වෝල් 105/3)
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම කඩුලු 7 ට 87 යි
(කාලෝස් බ්‍රැත්වෙයිට් 10, ෂිම්රන් හෙට්මියර් 34, ජේසන් හෝල්ඩර් 18, ජස්ප්‍රීට් බුම්රා 16/6)
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.