Last Update  :  2025-06-06 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බෙංගලූරු පිල මංගල ශූරතාව දිනයි
අයි.පී.එල්. - 2025

බෙංගලූරු පිල මංගල ශූරතාව දිනයි

editorial - 2025 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 18 වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අද (3 වැනිදා) සමත් විය. අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කරමින් බෙංගලූරු ක්‍රීඩකයෝ පළමු වරට අයි.පී.එල්. ශූරතාව තමන් සතුකර ගත්හ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 184 ක් පමණි. කෘනාල් පාණ්ඩ්‍යා ලකුණු 17 කට කඩුලු 2 ක්ද, බුවනේෂ්වර් කුමාර් ලකුණු 38 කට කඩුලු 2 ක්ද බිඳහෙළමින් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ. 

දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්ජාබ් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ශාෂන්ක් සිං පන්දු 30 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 61 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට නොහැකි විය. තරගය ජය ගැනීමට අවසන් ඕවරයේදී ලකුණු 29 ක් රැස්කිරීමට සිදුවුවද, ශාෂන්ක්ට එහිදී ලබාගත හැකි වූයේ ලකුණු 22 ක් පමණි. 

බෙංගලූරු කණ්ඩායම අයි.පී.එල්. අවසන් මහ තරගයකට ක්‍රීඩා කළ සිවුවැනි අවස්ථාව මෙය වූ අතර මින් පෙර 2009 වසරේදී ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම හමුවේද, 2011 වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේද, 2016 වසරේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හමුවේද පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට අනු ශූරතාවන්ගෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. 

ඒ අනුව වසර 9 කට පසුව අයි.පී.එල්. තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබූ බෙංගලූරු කණ්ඩායම, එහිදී සිය මංගල ශූරතාව දිනාගත්තේ තරගාවලිය ආරම්භ වී වසර 18 ක් ගතවීමෙන් පසුව වීමද කැපී පෙණුන සිදුවීමක් විය. ආරම්භක තරගාවලියේ සිට මේ දක්වාම බෙංගලූරු කණ්ඩායමට ක්‍රීඩා කළ විරාට් කෝලි තරගය ජය ගැනීමෙන් අනතුරුව කඳුළු සැලූ අතර මින් පෙර බෙංගලූරු කණ්ඩායමට ක්‍රීඩා කළ ඒ.බී. ඩිවිලියර්ස් සහ ක්‍රිස් ගේල්ද ඔවුන්ට සුබපැතීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබාගත් අතර එහිදී හතරේ පහර 3 ක් සමග පන්දු 34 කින් ලකුණු 43 ක් රැස්කිරීමට විරාට් කෝලි සමත් විය. නායක රජිත් පටීදාර් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක් රැස්කළේය. 

ලයෑම් ලිවිංග්ස්ටන් පන්දු 15 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 25 ක්ද, මායන්ක් අගර්වාල් පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද, ජිතේෂ් ශර්මා පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක්ද බැගින් රැස්කරමින් බෙංගලූරු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා දායකත්වය දැක්වූහ. 

රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 190  
(පිලිප් සෝල්ට් 16, විරාට් කෝලි 43, මායන්ක් අගර්වාල් 24, රජිත් පටීදාර් 26, ලයෑම් ලිවිංග්ස්ටන් 25, ජිතේෂ් ශර්මා 24, රොමාරියෝ ශෙපර්ඩ් 17, අර්ෂ්දීප් සිං 40/3, කයිල් ජැමීසන් 48/3) 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 184 
(ප්‍රියන්ෂ් ආර්ය 24, ප්‍රබ්සිම්රන් සිං 26, ජොෂ් ඉන්ග්ලිෂ් 39, නෙහාල් වධීරා 15, ශාෂන්ක් සිං නොදැවී 61, කෘනාල් පාණ්ඩ්‍යා 17/2, බුවනේෂ්වර් කුමාර් 38/2) 

-036 


අදහස් (0)

බෙංගලූරු පිල මංගල ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.