Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙම වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා සිට නොවැම්බර් මස 2 වැනිදා දක්වා රටවල් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගි වන තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.
මෙම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද, මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික මතබේදාත්මක තත්වයන් මත ඉන්දියාවේ සංචාරය කිරීමට පාකිස්ථාන කණ්ඩායම් අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් සභාව මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව මූලික වටයේදී පාකිස්තාන කාන්තා කණ්ඩායම සහභාගි වන සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර යම් හෙයකින් ඔවුන් අවසන් පූර්ව වටයට සහ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගද කොළඹදීම පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
තරගාවලියේ සෙසු තරග ඉන්දියාවේ බෙංගලූරු, ගුවහටි, ඉන්දෝර් සහ විශාකාපට්නම් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වේ. මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම්වලට එරෙහිව තරග වදින අතර මූලික වටය අවසානයේ ලකුණු සටහනේ මුල් ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. මූලික වටය තරග 28 කින් සමන්විත වේ.
පාකිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලැබුවහොත් පළමු අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 29 වැනිදා ගුවහටිහිදීද, දෙවැනි අවසන් පූර්ව තරගය 30 වැනිදා බෙංගලූරුහිදීද පැවැත්වේ. අවසන් මහ තරගය නොවැම්බර් 2 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එයද පාකිස්තානය සුදුසුකම් නොලැබුවහොත් බෙංගලූරුහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සත්කාරක ඉන්දියාව සමගින් ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ඍජුවම මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත් අතර පාකිස්තානය සහ බංග්ලාදේශය ඊට සුදුසුකම් ලැබුවේ පාකිස්තානයේදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියන් සහ අනු ශූරියන් බවට පත්වෙමිනි.
මෙවර පැවැත්වෙන්නේ 13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලිය වන අතර මින් පෙර පැවැති තරගාවලි 12 න් 7 කදීම (1978, 1982, 1988, 1997, 2005, 2013 සහ 2022) ශූරියන් බවට පත්වීමට ඕස්ටේ්‍රලියාව සමත්ව තිබේ. එංගලන්තය අවස්ථා 4 කදීද (1973, 1993, 2009 සහ 2017), නවසීලන්තය එක් අවස්ථාවකදීද (2000) කාන්තා ලෝක කුසලානට හිමිකම් කියා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.