
(ශානුක අරවින්ද)
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන 2025 නැගී එන තරු ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට 23 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේ දෝහා අග නුවරදී පැවැත්වේ. මින් පෙර වසරවලදී මෙම තරගාවලිය පැවැතියේ නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලිය ලෙසිනි.
කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේදී කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැත්වේ. එහිදී ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්ථානය සහ හොංකොං රාජ්‍යය ‘බී’ කාණ්ඩය යටතේද තරග වදිනු ඇත.
පසුගිය කාල වකවානුව තුළ පැවැති බහු කණ්ඩායම් තරගාවලීන්හි ආකෘති වලට අනුකූලවම මෙම තරගාවලියද සංවිධානය කෙරෙනු ඇත. ඉන්දියාව සහ පාකිස්තානය එකම කාණ්ඩයක් යටතේ මූලික වටයේදී තරග වැදීම ඊට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. වැඩි දෙනෙකුගේ අවදානය දිනාගන්නා එම තරගය නොවැම්බර් 16 වැනිදා පැවැත්වීමට නියමිතය.
මූලික වටයේදී සෑම කණ්ඩායමකටම තමන් නියෝජනය කරන කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වලට එරෙහිව ලීග් ක්‍රමයට අනුව තරග වැදීමට සිදුවනු ඇත. නොවැම්බර් මස 14 වැනිදා සිට 19 වැනිදා දක්වා සෑම දිනකම තරග දෙක බැගින් පැවැත්වෙන අතර 21 වැනිදා අවසන් පූර්ව තරග දෙකද, 23 වැනිදා අවසන් මහ තරගයද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. එම තරග වලින් ජයගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයේදී මුණගැසෙනු ඇත.
වයස අවුරුදු 23 න් පහළ තරගාවලියක් ලෙස 2013 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය මේ දක්වා අවස්ථා 6 කදී පවත්වා තිබේ. පසු කාලීනව එය ‘ඒ’ කණ්ඩායම් තරගාවලියක් බවට පත්වූ අතර මෙතෙක් පැවැති තරගාවලින්හිදී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය දෙවරක් බැගින් ශූරතාවට හිමිකම් කියා ඇත. ඉන්දියාව සහ ඇෆ්ඝනිස්ථානය එක් අවස්ථාවකදී බැගින් තරගාවලියේ ශූරතාව දිනා තිබේ.
අවසන් වරට (2024) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනිමට ඇෆ්ඝනිස්ථානය සමත් වූයේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කරමිනි.
තරගාවලියේ කාල සටහන
නොවැ. 14 - ඕමානය සහ පාකිස්තානය අතර
නොවැ. 14 - ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර
නොවැ. 15 - බංග්ලාදේශය සහ හොංකොං රාජ්‍යය අතර
නොවැ. 15 - ඇෆ්ඝනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර
නොවැ. 16 - ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර
නොවැ. 16 - ඉන්දියාව සහ පාකිස්තානය අතර
නොවැ. 17 - හොං කොං රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර
නොවැ. 17 - ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර
නොවැ. 18 - පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර
නොවැ. 18 - ඉන්දියාව සහ ඕමානය අතර
නොවැ. 19 - ඇෆ්ඝනිස්ථානය සහ හොං කොං රාජ්‍යය අතර
නොවැ. 19 - බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර
නොවැ. 21 - පළමු අවසන් පූර්ව තරගය
නොවැ. 21 - දෙවැනි අවසන් පූර්ව තරගය
නොවැ. 23 - අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.