Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව සමතලා කරති

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව සමතලා කරති

editorial - 2020 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ අසරණවූ සංචාරක ශ්‍රී ලංකා පිලට සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180 ක් පමණි. ඒ අනුව තවත් දිනයක් ඉතිරිව තිබියදීම මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 45 ක ජයක් හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (29 වැනිදා) සමත්විය.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වූ අතර මෙම තරගය ජයගැනීම හේතුවෙන් ඔවුන්ට ප්‍රසාද ලකුණු 60 ක් හිමිවිය.

තෙවැනි දිනයේ තරගය නතර කරනවිට කඩුලු 2 කට ලකුණු 65 ක් රැස්කර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 160 ක් අවශ්‍යවූ නමුත් ඊයේ දිනයේ පන්දුවට පහරදීමට පැමිණි ඔවුන්ට තවත් ලකුණු 115 ක් තුල ඉතිරි කඩුලු 7 අහිමිකර ගැනීමට සිදුවිය. ආබාධයකට ලක්වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ධනංජය ද සිල්වා පන්දුවට පහරදීමට නොපැමිණීම හේතුවෙන් කඩුලු 9 ක් දැවී ශ්‍රී ලංකා දෙවැනි ඉනිම අවසන් කිරීමට සිදුවිය.

තෙවැනි දිනය අවසන් වනවිට ලකුණු 21 ක් රැස්කරමින් එක් අන්තයක පන්දුවට පහරදෙමින් සිටි දිනේෂ් චන්දිමාල්ට ඊයේ දිනයේදී පළමු කඩුල්ල ලෙස දැවීයන විට රැස්කිරීමට හැකිවූයේ තවත් ලකුණු 4 ක් පමණි. වියාන් මල්ඩර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් චන්දිමාල් දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

තෙවැනි දිනය අවසන් වනවිට ලකුණු 33 ක් රැස්කරමින් අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් කුසල් පෙරේරා සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට සමත්වුවද ශ්‍රී ලංකා පිල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් විය. මිනිත්තු 143 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කුසල් පෙරේරා ඇන්රික් නෝයේගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්විටන් ඩි’කොක් අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 64 කට දැවී ගියේය.

තෙවැනි කඩුල්ල සඳහා කුසල් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 63 ක සම්බන්ධතාවයක් පැවැත්වූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවිණ. පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන නිරෝෂන් දික්වැල්ල (10) සහ දසුන් ශානකට (6) කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමට අවස්ථාවක් නොලැබිණ.

මංගල ටෙස්ට් තරගයේදීම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට වනිඳු හසරංග සමත්විය. අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් කසුන් රාජිතට සිය කඩුල්ල ආරක්‍ෂා කරගන්නා ලෙස පැවසූ හසරංග, ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු මට්ටම ඉහළ දැමීමට වනිඳු වේගවත් පිතිහරඹයක නිරතවූවද ඔහුගේ උත්සහය ලකුණු 59 කදී නිමා විය. ලුතෝ සිපම්ලගේ පන්දුවක් හමුවේ ටෙම්බා බවුමා අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 53 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට වනිඳු සමත්ව සිටියේය.

පළමු ඉනිමේදීම ආබාධයකට ලක්වූ ධනංජය ද සිල්වාට දෙවැනි ඉනිමේදීද පන්දුවට පහරදීමට අවස්ථාවක් හිමිනොවූ අතර පන්දු යැවීමේදී ආබාධයකට ලක්වුවද කසුන් රාජිත පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේය. තරගයේ තෙවැනි දිනයේදී විවිධ ආබාධ වලට ලක්වූ දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග සහ ළහිරු කුමාර ඊයේ දිනයේදී පන්දුවට පහරදීම සම්බන්ධයෙන් සැක සංකා පැවැතියද කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටීමට ධෛර්යය වඩාගත් ඔව්හු පන්දුවට පහරදීමට පිටියට පිවිසියහ.


ලකුණු පුවරුව


ශ්‍රී ලංකා පළමු ඉනිම - 396

දකුණු අප්‍රිකානු පළමු ඉනිම - 621

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

දිමුත් කරුණාරත්න - ප.න්ගිඩි 6

කුසල් පෙරේරා - ඇ.ඩි’කොක් ප.නෝයේ 64

කුසල් මෙන්ඩිස් - ඇ.වැන්ඩර් ඩසන් ප.න්ගිඩි 0

දිනේෂ් චන්දිමාල් - ප.මල්ඩර් 25

නිරෝෂන් දික්වැල්ල - ඇ.ඩි’කොක් ප.මල්ඩර් 10

දසුන් ශානක - ඇ.ඩි’කොක් ප.සිපම්ලා 6

වනිඳු හසරංග - ඇ.බවුමා ප.සිපම්ලා 59

විශ්ව ප්‍රනාන්දු - දුවද්දී දැවී ගියා 0

කසුන් රාජිත - ඇ.මහරාජ් ප.නෝයේ 0

ළහිරු කුමාර - නොදැවී 0

ධනංජය ද සිල්වා - පන්දුවට පහරදීමට පැමිණියේ නැත

අතිරේක 10

ඕවර 46.1 කදී සියලුදෙනා දැවී ලකුණු 180

කඩුලු වැටීමඃ

1-10 (දිමුත්), 2-22 (මෙන්ඩිස්), 3-85 (චන්දිමාල්), 4-99 (දික්වැල්ල), 5-114 (පෙරේරා), 6-142 (දසුන්), 7-148 (විශ්ව), 8-179 (වනිඳු), 9-180 (රාජිත)

පන්දු යැවීමඃ

ලුන්ගි න්ගිඩි - 10-2-38-2, ඇන්රිච් නෝයේ - 10.1-1-47-2, වියාන් මල්ඩර් - 12-1-39-2, ලුතෝ සිපම්ලා - 5-0-24-2, කේෂව් මහරාජ් - 6-3-20-0, ඒඞ්න් මාර්ක්රම් - 3-2-6-0

තරගයේ වීරයා - ෆෆ් ඩු ප්ලෙසි (දකුණු අප්‍රිකාව)


- 2079


අදහස් (0)

දකුණු අප්‍රිකානුවෝ ශ්‍රී ලංකාව සමතලා කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.