Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International තුවාලකරුවන් හත් දෙනාම ඉවතට

තුවාලකරුවන් හත් දෙනාම ඉවතට

රොෂාන් ගුණරත්න - 2020 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ලබන ජනවාරි මස ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සංචිතය තෝරාගැනීමේදී මේ වන විට ආබාධයන්ට ලක්ව සිටින ක්‍රීඩකයන් නොසළකා හරින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීයකු දකුණු අප්‍රිකාවේ රැදී සිටින ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතාට මේ පිළිබඳව ඊයේ (29) දන්වා යැවූ බව දැනගන්නට තිබේ.

දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින 21 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෝ හය දෙනෙක්ම පළමු තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා (28) පස්වරුවේ ක්‍රීඩාව අවසන් වන විට ආබාධයන්ට ලක්ව සිටියහ. සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, කසුන් රාජිත, ළහිරු කුමාර, වනිඳු හසරංග සහ දිනේෂ් චන්දිමාල් මේ වන විට ආබාධයන්ට ලක්ව සිටිති.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි මස 7 වැනිදා අවසන් වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම 8 වැනිදා විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි මස 14 වැනිදා ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා මෙන්ම හිටපු නායකයකුද වන සුරංග ලක්මාල් තරගය ආරම්භ වීමට පෙර ආබාධයකට ලක්වූ අතර පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය සිල්වා තරගයේ පළමු දිනයේ පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්විය.

දකුණතින් වේග පන්දු යවන කසුන් රාජිත සිය තෙවැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් පසුව ආබාධයකට ලක්ව තරගයෙන් ඉවත් විය. දකුණතින් වේග පන්දු යවන ළහිරු කුමාර පන්දු යවමින් සිටියදී පෙරේදා පස්වරුවේ ආබාධයකට ලක්විය.

මෙම තරගයේදී ටෙස්ට් වරම් ලැබූ දකුණතින් පා දඟ පන්දු යවන වනිඳු හසරංග මස්පිඬු පෙරළීමේ ආබාධයකට ලක්ව සිටින අතර ඔහුගේ ආබාධය සම්බන්ධ වෛද්‍ය වාර්තාව ඊයේ පස්වරුව දක්වා ලැබී නොතිබුණි. වනිඳු, දකුණු අප්‍රිකානු පිලේ පළමු ඉනිමේදී ඕවර 45 ක් යවා කඩුලු හතරක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ අතර ආබාධය තිබියදීත් දෙවැනි ඉනිමේදී පන්දුවට පහර දෙමින් ලකුණු 59 ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පිලේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමිනි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථකම පිතිකරු බවට පත්වෙමින් ලකුණු 85 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල් දෙවැනි ඉනිමේදී විනාඩි 30 ක පමණ කාලයක් පන්දුවට පහරදීමෙන් පසුව පෙරේදා පස්වරුවේ ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලැබීය. කෙසේ වෙතත් චන්දිමාල් ඊයේ නැවත පන්දුවට පහර දුන්නේය.

මෙම තරගයට සහභාගි වන දඟ පන්දු යවන්නන් වන ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග මේ වන විට ආබාධයන්ට ලක්ව සිටින අතර නිත්‍ය වේග පන්දු යවන්නන් තිදෙනාගෙන් කසුන් රාජිත සහ ළහිරු කුමාර මේ වන විට පන්දු යැවීමට නොහැකි තත්ත්වයේ පසුවෙති. පන්දු යවන්නන් නොමැතිවීමෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ නායක දිමුත් කරුණාරත්න ඕවර 6.5 ක් සහ කුසල් මෙන්ඩිස් ඕවර 7 ක් යැවූහ.

මෙම සංචාරය සඳහා නම් කළ 22 දෙදෙනකුගේ යුත් සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් එල්.පී.එල්. තරගාවලියේදී ආබාධයකට ලක්වීමේ සිට ක්‍රීඩකයන් හත්දෙනකු ආබාධයක්ට ලක්වීමෙන් දකුණු අප්‍රිකාවේ රැදී සිටින සංචිතයේ ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන ක්‍රීඩක සංඛ්‍යාව 15 ක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ එංගලන්ත සංචාරය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බැවින් වෙනත් ක්‍රීඩකයන් සංචිතයට පහසුවෙන් ලබාගැනීමේ හැකියාව ඇති බවයි.

“දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගි වෙලා ඉන්න වේග පන්දු යවන්නන් වැඩි සංඛ්‍යාවක් ආබාධයකට ලක්වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේදී අපිට දඟ පන්දු යවන්නන්ගෙන් තරගාවලියට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසයි අපි කිව්වේ ආබාධයන්ට ලක්ව සිටින ක්‍රීඩකයන් නොසළකා හරින්න කියලා”යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ඊයේ පස්වරුව දක්වා ලැබී නොතිබුණි.

එංගලන්තය තුළ මේ වන විටත් ‘පොකුරක්’ ලෙස කටයුතු කරන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට මේ දක්වා අවසර නොලැබුණ ද සංචාරක ව්‍යාපාරය පණගැන්වීම සඳහා නියමු ව්‍යාපෘතියක් ලෙස පෙරේදා (28) යුක්රේන ජාතිකයන්ගෙන් සමන්විත සංචාරකයන් 185 ක් ඇතුළත් කණ්ඩායමක් මත්තලින් ශ්‍රී ලංකාවට පැමිණියේය. එංගලන්ත කණ්ඩායම ලබන ජනවාරි 3 වැනිදා එනම් තවත් දින හතරකින් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටියි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජනවාරි මස 14 වැනිදා සිට 26 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

තුවාලකරුවන් හත් දෙනාම ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.