Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවෝද් පරණවිතානගේ (108) දක්ෂ පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැති තුන් කොන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ (21 වැනිදා) සමත් වූහ.
ඇන්ටිගුහාහිදී පැවැති අවසන් තරගයේදී එංගලන්ත යොවුන් පිලට එරෙහිව ලකුණු 77 ක ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ශූරතාවයට හිමිකම් කියූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් පිල නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 265 ක් රැස්කිරීමට සමත්විය. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතානගේ පන්දු 119 කදී හතරේ පහර 16 ක් සමගින් ලකුණු 108 ක් රැස්කිරීමට සමත්විය.
නවෝද් පරණවිතාන සහ කමිල් මිෂාර එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 149 කදී ලකුණු 124 ක් සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් පිලට ශක්තිමත් ආරම්භයක් ලබාදීමට සමත්වූහ. පරණවිතානට අනගි සහයක් ලබාදුන් කමිල් මිෂාර පන්දු 84 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 69 ක් රැස්කිරීමට සමත්විය.
රවිඳු රසාන්ත පන්දු 36 කදී හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් සහ අහන් වික්‍රමසිංහ පන්දු 31 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 25 ක් රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායක වූහ.
ජෝර්ජ් බැල්ඩර්සන් කඩුලු 4 ක් සහ බ්ලේක් කලන් කඩුලු 3 ක් දවාගනිමින් එංගලන්ත යොවුන් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත යොවුන් පිලට ඕවර 43.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 188 ක් පමණි.
එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 10 ක් තුල පිටියෙන් ඉවත් කළ අම්ෂී ද සිල්වා සහ අෂේන් ඩැනියෙල් ශ්‍රී ලංකා යොවුන් පිලට ජයග්‍රහණය කරා යෑමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීමට සමත්වූහ.
තෙවැනි කඩුල්ල සඳහා ජැක් හේන්ස් සහ ජෝර්දාන් කොක්ස් ලකුණු 64 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වුවද 22 සහ 23 වැනි ඕවර වලදී තවත් කඩුලු 2 ක් දවාගනිමින් එංගලන්ත යොවුන් පිලට පීඩනයක් ඇති කිරීමට කවිඳු නදීෂාන් සහ අෂේන් ඩැනියෙල් සමත්වූහ.
පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් එංගලන්ත යොවුන් ඉනිම ගොඩනැගීමට ජෝර්දාන් කොක්ස් සහ ලුවිස් ගෝල්ඩ්වර්ති සමත්වුවද අවසන් කඩුලු 6 ලකුණු 42 ක් තුල බිඳ හෙළීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ.
කවිඳු නදීෂාන් කඩුලු 3 ක් ද අෂේන් ඩැනියෙල්, සුධීර තිලකරත්න සහ නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී ලංකා යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ නවෝද් පරණවිතාන අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 265
(නවෝද් පරණවිතාන 108, කමිල් මිෂාර 69, රවිඳු රසාන්ත 20, අහන් වික්‍රමසිංහ 25, ජෝර්ජ් බැල්ඩර්සන් 55/4, බ්ලේක් කලන් 43/3)
එංගලන්ත යොවුන් පිල - ඕවර 43.1 කදී සියලුදෙනා දැවී 188
(ජෝර්දාන් කොක්ස් 77, ජැක් හේන්ස් 32, ලුවිස් ගෝල්ඩ්වර්ති 31, ජෝයි එවිසන් 25, කවිඳු නදීෂාන් 43/3, අෂේන් ඩැනියෙල් 25/2, සුධීර තිලකරත්න 31/2, නවෝද් පරණවිතාන 45/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.