Last Update  :  2025-06-05 20:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන කල් දමයි

කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන කල් දමයි

editorial - 2025 ජුනි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙම මස 6 වැනිදා සිටි මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය, මේ වන විට රට තුළ පවතින කාලගුණික සහ සෞඛ්‍ය ගැටලු මුල් කරගනිමින් දින නියමයක් නොමැතිව කල් දැමීමට එහි සංවිධායකයන් ලෙස කටයුතු කරන ආසියානු ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. 

ආසියානු ක්‍රිකට් සභාව මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, මේ වන විට රට තුළ පවතින කාලගුණික සහ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කරමින් ආසියානු ක්‍රිකට් සභාවේ සභාපතිවරයා වෙත යොමු ලිපියක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය. 

මේ වන විට රටතුළ පවතින අධික වර්ෂාපතනය, ජල ගැලීම් සහ සුලි සුලං තත්වයන් පිළිබඳව මෙන්ම ඒ සමගම සීග්‍රයෙන් පැතිර යන චිකුන්ගුන්‍යා රෝගය පිළිබඳවද එම ලිපිය ඔස්සේ ආසියානු ක්‍රිකට් සභාපතිවරයා දැනුවත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා, එම කරුණු සැලකිල්ලට ගනිමින් උක්ත තරගාවලිය කල්දමන ලෙසද ඉල්ලීමක් කර ඇත.
 
“තරුණ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීම සඳහා ඉහළම මට්ටමින් තරග වැදීමේ අවස්ථාවන් ලබා දීමට අපි කැපවී සිටිනවා. ආසියාවේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය හැඩගැස්වීම සඳහා මෙම තරගාවලියේ ඇති වැදගත්කම අපි තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මෙම තරගාවලිය නැවත සැලසුම් කිරීමට අපි කටයුතු කරනවා.” යැයි ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආසියානු ක්‍රිකට් සභාවේ සභාපති මොහ්සින් රාසා නක්වි මහතා පැවසීය. 

විස්සයි-20 තරගාවලියක් ලෙස 2023 වසරේ හොං කොං රාජ්‍යයේදී පළමු වරට පැවැති මෙම කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් සහභාගි වූ අතර එහි ශූරතාව ඉන්දියාව සතු විය. ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොං කොං රාජ්‍යය ඊට සහභාගි වූ සෙසු රටවල් විය. 


අදහස් (0)

කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන කල් දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.