Last Update  :  2025-06-02 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තයට දැවැන්ත ජයක්
බර්මින්හැම් එක්දින තරගය

එංගලන්තයට දැවැන්ත ජයක්

editorial - 2025 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)

නායකත්වය නිල වශයෙන් බාරගැනීමෙන් පසුව තම කණ්ඩායම මෙහෙයවූ පළමු තරගයේදීම, 26 හැවිරිදි හැරී බෲක්, බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ ලකුණු 238 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියේය. එංගලන්තය සහ කොදෙව් පිල අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමුවැන්න වූ මෙම තරගය ඊයේ (29 වැනිදා) බර්මින්හැම් නුවරදී පැවැත්විණ. 

එක දිගට එක්දින තරග 7 ක් පරාජය වී සිටි එංගලන්ත කණ්ඩායම මෙම ජයත් සමගින් කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. 

මෙය එංගලන්තයේ (ලකුණු අනුව) දෙවන විශාලතම එක්දින ජයග්‍රහණය වන අතර එය 2018 දී නොටින්හැම් නුවරදී ඕස්ටේ්‍රලියානුවන් හමුවේ ලබාගත් ලකුණු 242 ක ජයග්‍රහණයට පමණක් දෙවැනි වෙයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 8 කට ලකුණු 400 ක් ලබාගත් අතර එය ශතකයක් වාර්තා නොවූ ඉනිමකදී එංගලන්ත කණ්ඩායම ලබාගත් ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාවයි. ජේකබ් බෙතීල් (82), බෙන් ඩකට් (60), හැරී බෲක් (58) සහ ජෝ රූට් (57) යන සිව් දෙනාම අර්ධ ශතක වාර්තා කිරීමෙන් මෙම සාර්ථක ලකුණු සංඛ්‍යාව ගොඩනැඟිණ. 

පිළිතුරු ඉනිමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 79 කට කඩලු 5 ක් අහිමි කරගත් අතර පසුව ලකුණු 162 කට දැවී ගියේය. කොදෙව් පිල වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූයේ අවසන් පිතිකරු ජේඩ්න් සීල්ස්ය. 

තමන්ගේ කණ්ඩායම ලකුණු 162 කට ඇද වැටෙන කණගාටුදායක සිදුවීම් මාලාව, 1975 සහ 1979 දී ලෝක කුසලාන දෙකක්ම කොදෙව් පිලට ගෙන දුන් නායකයා වූ ක්ලයිව් ලොයිඩ් ක්‍රීඩාගාරයේ සිට මහත් වේදනාවෙන් බලා සිටියේය. ඒ අතරවාරයේදී ආදිල් රෂීඩ් ඔහුගේ 150 වන එක්දින තරගයේදී කඩුලු දෙකක් දවා ගනිමින්, අල්සාරි ජෝසප් ආපසු ක්‍රීඩාගාරයට යවා තරගයත් අවසන් කළේය.

ආරම්භක පන්දු යවන්නා වූ සකීබ් මොහොමඩ් කොදෙව් පිලේ ඉදිරිපෙළ කඩුලු තුනක්ම දවාගත් අතර එංගලන්තයේ ආකර්ෂණීය පන්දු රැකීමේ දස්කම් ඉස්මතු වී පෙනිණ. 

විශේෂයෙන්ම බ්‍රයිඩන් කාර්ස් විසින් සිය සහාය වේග පන්දු යවන්නා වන සකිබ් මොහොමඩ්ගේ පන්දුවක් හමුවේ තනි අතින් රැකගත් උඩපන්දුව නිසා කොදෙව් නායකයාට සිය ඉනිම නිමා කරන්නට සිදුවිය. 

ජේකබ් බෙතීල් එංගලන්ත පිලට ක්‍රීඩා කරන නමුත් ඔහු කොදෙව් දූපත් සමූහයට අයත් බාර්බඩෝස් දිවයිනේ උපන් අයෙකි. ඉන්දියානු ප්‍රිමියර් ලීගයෙන් ඉවත් වී ඔහුගේ වෝර්වික්ෂයර් ක්‍රීඩාංගණයට පැමිණි ජෙකබ් බෙතීල්, බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට දඬුවම් කළේ හිත් පිත් නැති ලෙසිනි. 

පන්දු 53 කින් ලකුණු 82 ක් ලබාගත් වමත් පිතිකරුවා, හතරේ පහර 8 කින් සහ හයේ පහර 5 කින් සිය ඉනිම අලංකාර කළේය. බෙතීල් සහ විල් ජැක්ස් (39) එක්ව ඕවර හතකදී හරියටම ලකුණු 100 ක් එක් කරමින් එංගලන්තය ලකුණු 287-5 සිට 387-6 දක්වා ගෙන ගියහ.

කෙදෙව් වේග පන්දු යවන්නා වන ජේඩ්න් සීල්ස් කඩුලු හතරක් දවා ගත් නමුත් ඕවර නවයක් තුළ ලකුණු 84 ක් එංගලන්තයට තිළිණ කළේය. ඔහුට අනෙක් පන්දු යවන්නන්ගෙනුත් ලැබුණු සහයෝගයක් නැත. 

තරඟාවලියේ දෙවැනි තරගය ඉරිදා (1 වැනිදා) කාඩිෆ්හි සොෆියා ගාර්ඩන්ස් පිටියේදී පැවැත්වෙයි. 


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ට 400 යි
(ජැමී ස්මිත් 37, බෙන් ඩකට් 60, ජෝ රූට් 57, හැරී බෲක් 58, ජොස් බට්ලර් 37, ජේකබ් බෙතීල් 82, විල් ජැක්ස් 39, ජේඩ්න් සීල්ස් 84/4, අල්සාරි ජෝෂප් 69/2, ජස්ටින් ග්‍රේව්ස් 68/2)

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 26.2 කදී සියලු දෙනා දැවී 162 යි
(බ්‍රෙන්ඩන් කිං 10, කේසි කාටි 22, ශායි හෝප් 25, අමීර් ජන්ගෝ 14, ගුඩාකේෂ් මෝති 18, අල්සාරි ජෝෂප් 12, ජේඩ්න් සීල්ස් නොදැවී 29, සකීබ් මොහොමඩ් 32/3, ජැමී ඔවර්ටන් 22/3, අදිල් රෂීඩ් 50/2)


- 213


අදහස් (0)

එංගලන්තයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.