Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ආසියානු කුසලන දිනාගැනීමෙන් උදම් වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ආත්ම විශ්වාසය පොදි බැඳගෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරයි. ඉරිදා (16 වැනිදා) ආරම්භ වන සුදුසුකම් තේරීමේ වටයේදී ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිවාදීන් වන්නේ නැමීබියානු කණ්ඩායමයි.
පළමු වටයේදී නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය සමගින් තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට නම් අඩුම වශයෙන් මේවායින් තරග දෙකක් වත් ජයගත යුතුය. මේ පැවැත්වෙන්නේ 2020 වසරට නියමිතව තිබූ වි-20 ලෝක කුසලාන තරගාවලියයි. එය විස්සයි-20 ලෝක කුසලන තරග මාලාවේ අටවැන්නය. කොරෝනා වසංගතය හේතුවෙන් මෙම තරගාවලිය 2022 වසරට කල්දමනු ලැබිණ.
ප්‍රේක්‍ෂකයන් 36,000 කට ආසන පහසුකම් ඇති, මෙල්බර්න් නගරයට මෑතින් පිහිටි, ගීලෝන්ග්හි කාර්ඩිනියා උද්‍යාන ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා - නැමීබියා තරගය ඉරිදා උදෑසන 9.30 ට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ තරගයෙන් පසුව, මෙම ක්‍රීඩාංගණයේදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නෙදර්ලන්තය අතර තරගයත් පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අලුත් සංයෝගයකි.
කිසිම විවාදයකින් තොරවම, කණ්ඩායමේ සිටින දක්‍ෂතම පිතිකරුවා වන කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට කැඳවා ඇත්තේ ඔහුට ඕවර 20 ම මුහුණ දීමේ අවස්ථාව සලසා දෙමිනි. අනෙක් අන්තයෙන් සිටින්නේ කණ්ඩායමේ කවදත් නැංගුරම වන පැතුම් නිස්සංකයි.
ආරක්‍ෂාවත් ආක්‍රමණයත් කදිමට කැටිකළ මෙම පිතිකරුවන් දෙදෙනාගෙන්, ප්‍රහාරාත්මක ඕවර 6 දී ලැබෙන ලකුණු සංඛ්‍යාවත්, ස්ථාවර මැද පෙළ පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්‍ෂ සහ දසුන් ශානකගේ දායකත්වයත් මත, ශ්‍රී ලංකා කණ්ඩායමේ එකතුව රඳා පවතිනු ඇත.
පන්දු යැවීම තවදුරටත් ප්‍රශ්නයක් නොවේ. වේග පන්දු යවන්නන් පස් දෙනකුගේ බලඇණියක් ශ්‍රී ලංකා කණ්ඩායම පසුපසින් සිටී. ඒ දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ තිදෙනාට අමතරවය.
වසර 2006 දී ආරම්භ වූ අන්තර්ජාතික විස්සයි-20 ක්‍රීඩාවේදී ශ්‍රී ලාංකිකයෝ බොහෝ ඉදිරියෙන් සිටි කණ්ඩායමකි.
විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ආරම්භ කළ 2009 වසරේ සිටම, වසර හතරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම එහි මුදුන් හිණිපෙත්තේම සිටියේය. වසර 2009 ලෝක කුසලාන තරගාවලියේදී (එංගලන්තයේදී) සහ 2012 ලෝක කුසලාන තරගාවලියේදී (ශ්‍රී ලංකාවේදී) ශ්‍රී ලංකා කණ්ඩායම් එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 2014 දී බංග්ලාදේශයේදී පැවති තරගාවලියේදී ශ්‍රී ලාංකිකයෝ විස්සයි-20 ලෝක කුසලාන දිනාගත්හ.
එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුවේ නරක දසාවකි. 2016 ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයෙන්ම ඉවතට විසිවූ ශ්‍රී ලංකා පිලට, එතැනින් පසුව හිස එසවීම තරමක් අපහසු වූයේය. විශේෂයෙන්ම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පහළට වැටීම හේතුවෙන් ප්‍රධාන තරගාවලියට පෙර සුදුසුකම් තේරීමේ තරගාවලියකට මුහුණ දෙන්නටත් සිදුවිය.
කෙසේ වෙතත් නායක දසුන් ශානකගේ විශ්වාසය නම්, මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ගමනක් යා හැකි බවයි. පසුගිය මාසයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පාකිස්තානය පරාජය කිරීම දසුන් ශානකගේ සුභවාදී බලාපොරොත්තු වලට හේතු වී තිබේ.
“කණ්ඩායම ඇතුළේ ඒ ජවය තියෙනවා. ලෝක කුසලාන තරගාවලියට පෙර ආසියානු කුසලාන දිනාගැනීමට හැකිවීම ලොකු හයියක්” යයි දසුන් ශානක කියයි.
ශ්‍රී ලංකා කණ්ඩායම වි-20 ලෝක කුසලාන දිනාගත් 2014 වසරේදීත්, වි-20 ආකාරයෙන් පැවැති ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කළේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි. එවර ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම වි-20 ලෝක කුසලාන තරගාවලියත් බංග්ලාදේශයේදී පැවැත්විණ.
නැමීබියාව යනු පසුගිය වසරේ වි-20 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට හමුවූ ක්‍රීඩක පිරිසක. පළපුරුදු ක්‍රීඩකයකු වන ජෙරාඩ් එරැස්මස්ගේ නායකත්වයෙන් යුත් නැමීබියානු පිලේ සිටින භයානකම ක්‍රීඩකයා වන ඩේවිඩ් වීස්, කලක් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කළේය. වේග පන්දු යවන්නකු වන රූබන් ට්‍රම්පල්මන් ප්‍රතිවාදී පිතිකරුවන්ට මහත් හිසරදයක් විය හැකි ක්‍රීඩකයෙකි.
පසුගිය වසරේ ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදීත්, ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 7 කින් පරාජය වූ නමුත්, නෙදර්ලන්තය සහ අයර්ලන්තය පරාජය කළ නැමීබියානු ක්‍රීඩකයෝ ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්හ.
මේ ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව සහ නැමීබියාව හමුවන දෙවැනි අවස්ථාවයි.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක සහ ප්‍රමෝද් මධුෂාන්
නැමීබියානු සංචිතය
ජෙරාඩ් එරැස්මස් (නායක), ජේ.ජේ. ස්මිත්, ඩිවාන් ලා’කොක්, ස්ටීවන් බාර්ඩ්, නිකොල් ලොෆ්ටීටන්, යාන් ෆ්‍රයිලින්ක්, ඩේවිඩ් වීස්, රූබන් ට්‍රම්පල්මන්, සේන් ග්‍රීන්, බර්නාඩ් ෂුල්ට්ස්, ටැන්ජනී ලුන්ගමානි, මයිකල් වැන්ලින්ගන්, බෙන් ෂිකොන්ගෝ, කාල් බර්කන්ස්ටොක්, ලොහාන් ලෝරන්ස් සහ හේලියෝ යා’ෆ්‍රාන්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.