Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අයි.පී.එල්. දින නියමයක් නැතිව කල්යයි

අයි.පී.එල්. දින නියමයක් නැතිව කල්යයි

editorial - 2020 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව මැයි 3 වැනිදා දක්වා අගුළු දැමීමට තීරණය කිරීමෙන් පසුව 2020 ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

මාර්තු 29 වනදා ආරම්භ වීමට තිබූ විස්සයි20 තරගාවලිය අප්‍රේල් 15 වැනිදා (අද) ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබිණ. එහෙත් අප්‍රේල් 14 වැනිදා (අඟහරුවාදා) සවස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන සව්රව් ගංගුලි මහතා ප්‍රධාන උසස්ම නිලධරීන් අතර පැවැති දුරකතන සම්මන්ත්‍රණයකදී තරගාවලිය දින නියමයකින් තොරව කල්දැමීමේ තීරණයට එළඹුණහ.

සමස්ත ඉන්දියාවම මැයි මස 3 වැනිදා දක්වා අගුළු දැමීමට 14 වැනිදා පෙරවරුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා තීරණය කිරීම හේතුවෙන් මෙවර අයි.පී,එල්. තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට නොහැකි බව කණ්ඩායම් හිමිකරුවන්ට දැනුම් දී තිබේ. අයි.පී.එල්. තරගාවලියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හේමන්ග් අමීන් මහතා විසින් අද (15 වැනිදා) පෙරවරුවේදී සියලුම කණ්ඩායම් වල හිමිකරුවන්ට ඒබ බව දැනුම් දී තිබිණ.

මැයි මස 3 වැනිදා දක්වා සමස්ත ඉන්දියාවම අගුළු දැමීම හේතුවෙන් ඉන්දියාවේ සියලුම ගමනාගමන සේවා මෙන්ම ගුවන් යානා සමූහයද සියලුම ගමන්වාර අවලංගු කර දමා තිබේ.

ඉන්දියාවේ අගුළු දැමීම යටතේ, සිල්ලර බඩු සහ ඖෂධහල් වැනි අත්‍යවශ්‍ය ව්‍යාපාරවලට පමණක් විවෘත කිරීමට අවසර ඇත. නගරාශ්‍රීත ප්‍රවාහන සේවා හදිසි කාර්ය මණ්ඩලයට සහ විශේෂ ගමන් බලපත්‍ර ඇති අයට පමණක් සීමා වී ඇති අතර සියලුම දුම්රිය හා ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ඉදිරි සතිය තුළදී නීති රීති තවදුරටත් දැඩි කළ හැකි බව අගමැති මෝදි මහතා යෝජනා කර ඇතත් ඒ පිළිබඳව වැඩි විස්තර ලබා දී නැත. බදාදා (අද) වන විට ඉන්දියාවේ කෝවිඩ් - 19 ආසාදිතයන් සංඛ්‍යාව 11,000 ඉක්මවා තිබූ අතර මරණ සංඛ්‍යාව 400 ආසන්නයේ පැවතිණ.

මාර්තු 29 වැනිදා සිට මැයි 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය මැයි මාසයේදි ආරම්භ කර එය මාසයක තරගාවලියක් දක්වා කෙටි කිරීමටත් එහි අවසන් තරග ජූනි මාසයේ පළමු සතියේදී පැවැත්වීමටත් තහවුරු කරනු නොලැබූ සැලැස්මක් ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට තිබිණ. එහි විශේෂත්වයක් වූයේ තරග සියල්ලම තෝරාගත් ක්‍රීඩාංගණ කිහිපයකදී ප්‍රේක්‍ෂකයන් නොමැතිව පැවැත්වීමයි. එහෙත් දැන් ඒ බලාපොරොත්තුව ද සිඳී ගොස් තිබේ.

“අයි.පී.එල්. එක පැත්තකින් තියන්න කෝ..... මේ වන විට ලෝකයේ කිසිම තැනක කිසිම ආකාරයක ක්‍රීඩාවක් සඳහා අනුග්‍රහයක් නෑ..... ප්‍රායෝගිකව ගත්තොත්, ලෝකයේ සෑම තැනකම ජීවිතය ඇණ හිටලා තියෙන කොට ක්‍රීඩාවට අනාගතයක් ඇත්තේ කොහේද” යයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා විමසයි.

ලෝක කුසලාන ජයග්‍රාහකයන් වූ ඔයින් මෝගන්, බෙන් ස්ටෝක්ස්, ජොස් බට්ලර්, ජේසන් රෝයි, ජොනී බෙයර්ස්ටෝ සහ මොයින් අලි ඇතුළු එංගලන්ත ක්‍රීඩකයෝ රැසක්ම මේ වසරේ අයි.පී.එල් තරගාවලිය සඳහා සහභාගිවීමට සූදානමින් සිටියහ.

පසුගිය දෙසැම්බරයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් 8 ක් විසින් ක්‍රීඩකයන් 62 දෙනකු මිලදී ගන්නා ලද අතර ඒ වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 140 ක් හෙවත් ඩොලර් ලක්‍ෂ 184 ක් ගෙවීමට පොරොන්දු වී තිබිණ.

සාමාන්‍ය පරිදි අයි.පී.එල්. ක්‍රීඩකයන්ට මෙම මුදල් ගෙවනු ලබන්නේ තරගාවලිය ආරම්භ වීමට සතියකට කලින් පොරොන්දු මුදලින් 50්‍ර කි. ඉතිරිය තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ගෙවනු ඇත. තරගාවලිය පැවැත්වූයේ නම් රූපවාහිනී අයිතිවාසිකම් හිමි ‘ස්ටාර් ඉන්දියා’ සමාගම වෙතින් එක් කණ්ඩායමක් සඳහා ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක් ගෙවීමට එකඟතාවක් ද තිබිණ.

එහෙත් යම් හෙයකින් තරගාවලිය පැවැත්විය නොහැකි වුවහොත් කිසිම ක්‍රීඩකයකුට හෝ කණ්ඩායමකට මුදල් හිමි නොවේ.

මේ දක්වා අයි.පී.එල්. හි සියලුම තරගාවලි පැවැත්වී ඇත්තේ මාර්තු පළමු වැනි සතියේ සිට මැයි මාසයේ අවසන් සතිය දක්වාය.

ආරක්ෂක හේතුන් මත 2009 තරඟාවලිය දකුණු අප්‍රිකාවට ගෙන යන ලද අතර, 2014 තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අර්ධ වශයෙන් පවත්වන ලද්දේ තරගාවලිය පැවැත්වූ කාලයේදී ඉන්දීය මහ මැතිවරණයද යේදී තිබීම හේතුවෙන් ආරක්ෂක හමුදාවන්හි සේවය ඒ සඳහා ලබා නොදීම නිසාවෙනි.
 
- 2079

අදහස් (0)

අයි.පී.එල්. දින නියමයක් නැතිව කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.