Last Update  :  2024-12-14 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බවුමාට දෙවරක්ම වාසනාව පෑදෙයි
ඩර්බන් ටෙස්ට් තරගය

බවුමාට දෙවරක්ම වාසනාව පෑදෙයි

editorial - 2024 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඡායාරූපය - ඒ.එෆ්.පී අනුග්‍රහයෙනි)

(සැකසුම - දමින්ද විජේසූරිය)

ඩර්බන් නුවරදී අද (27 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් විසින් දකුණු අප්‍රිකානුවන් අමාරුවේ දමන ලද නමුත් දෙවරක්ම වාසනාව හිමිකරගත් දකුණු අප්‍රිකානු නායකයා, වර්ෂාව නිසා තරගය නතර කරන විටත් සිය කඩුල්ල රැකගෙන සිටියේය. පෙරවරු 11.30 ට පමණ ඇද වැටුණු මඳ වර්ෂාවක් හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 80 ක් ලබා සිටියේය. 

දිවා ආහාරයෙන් පසුව දිගින් දිගටම පැවති වර්ෂාව හේතුවෙන් පස්වරු 3.00 ට පමණ දිනයේ ක්‍රීඩාව අතහැර දමන ලදි. 

බවුමා එක ලකුණක් පමණක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් දෙවැනි ස්ලිප්හි සිටි දිමුත් කරුණාරත්න වෙතින් ගිළිහී යන විට දකුණු අප්‍රිකානුවන්ගේ ලකුණු සංඛ්‍යාව කඩුලු 2 කට 16 ක් විය. එතැන් සිට ටි්‍රස්ටන් ස්ටබ්ස් සමගින් එක්වූ බවුමා සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කරගෙන යද්දී ළහිරු කුමාරගේ අගනා පන්දුවකින් ස්ටබ්ස් දැවී ගියේය. 

ඒ වන විට ළහිරු කුමාර අති විශිෂ්ට අන්දමින් පන්දු යවමින් සිටි අතර දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට මහත් හිසරදයක් වෙමින් සිටියේය. ඩේවිඩ් බෙඩිංහැම්ගේ පිට ඉන්න ගැලවී, කරත්ත රෝදයක් ලෙසින් කැරකෙමින් විසිවී ගියේ ළහිරු කුමාර පැයට කිලෝ මීටර 142 ඉක්මවූ පන්දුවකිනි. එහෙත් සෙසු පන්දු යවන්නන් හා සංසන්දනය කිරීමේදී ළහිරුගෙන් ලබාගත් ලකුණු සංඛ්‍යාව නිසා දකුණු අප්‍රිකානුවන් වෙත තිබූ පීඩනය තරමක් අඩුවිය. 

ලකුණු 66 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබූ බැවින් ආක්‍රමණයටම පිවිසෙනවා හැර වෙනත් විකල්පයක් දකුණු අප්‍රිකානුවන්ට නොවීය. බවුමා මුල් පියවර ගත්තේ ළහිරු කුමාරගේ පන්දුවකට හුක් පහරක් ගසමිනි. පහර වැරදී යාමෙන් කුසල් මෙන්ඩිස් උඩපන්දුව රැකගත් නමුත් එය නිපන්දුවක් වූ හෙයින් තවදුරටත් පිටියේ රැඳීමට බවුමාට අවස්ථාව ලැබිණ. ළහිරුගේ ඊළඟ පන්දුවෙන් ලකුණු 3 ක් ලබාගත් දකුණු අප්‍රිකානු නායකයා වර්ෂාව නිසා ක්‍රීඩාව නතර කරන විටත් නොදැවී ලකුණු 28 ක් ලබා සිටියේය. 

වැසිබර, අඳුරු කාලගුණික තත්ත්වයකදී කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා කිසිදු පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. ධනංජය, පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා පිට පිටම හත්වතාවක් ටෙස්ට් තරග වලදී කාසියේ වාසිය දිනා තිබේ. 

ඩර්බන් පිටියට තරමක් ආගන්තුක වන නමුත් තණකොළ වලින් ගහණ තණතීරුවක තරග කිරීම සඳහා දඟ පන්දු යවන්නකු ලෙසින් දකූණු අප්‍රිකානු පිලට එක්ව සිටින්නේත් කේෂව් මහාරාජ් පමණි. මාකෝ ජැන්සන්, වියාන් මල්ඩර්, ජෙරල්ඩ් කොඑට්සි සහ කගීසෝ රබාඩා යන සිව්දෙනාම වේග පන්දු යවන්නෝ වෙති. ඒ අනුව වේග පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට පිවිසි නායකයාට කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව ගන්නට තිබූ තීරණය පහසු එකකි. 

අනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම ඩර්බන්හි කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග දෙකම දිනාගත්තේ දෙවැනි වර පන්දුවට පහර දීමෙනි. කෙසේ වෙතත් තණතීරුව දැඩි බවකින් යුතු බව විස්තර විචාරකයෝ කියති. 

ධනංජයගේ තීරණයට සාධාරණය ඉටුකළ අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනා ලකුණු 14 ක් ඇතුළතදී දකුණු අප්‍රිකානුවන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. යම් හෙයිකින් දිමුත්ට ලැබුණු පළමු උඩපන්දුවත් රැකගත හැකිවූයේ නම් ලකුණු 16 ක් ඇතුළත තුන්වැනි කඩුල්ලත් දවාගත හැකිව තිබූ නමුත් ක්‍රිකට් තරගවලදී ලැබෙන උඩපන්දු වලින් කිහිපයක් ගිළිහී යාම සාමාන්‍ය තත්ත්වයකි. 

තරගයේ ඉදිරි දිනවල කාලගුණය සම්බන්ධයෙන් පළවන අනාවැකි නම් එතරම් හිතකර ඒවා නොවේ. කාලගුණ අනාවැකි සම්බන්ධයෙන් ලෝ ප්‍රකට වෙබ් අඩවි තුනකින්ම කියැවෙන්නේ තරගයේ පළමු දිනය වන අද වර්ෂාවෙන් තරගයට බාධා වන බවයි. 

ටෙම්බා බවුමා දවාගත නොහැකි වූ ළහිරුගේ නිපන්දුව... 

(ඡායාරූපය - දකුණු අප්‍රිකානු ක්‍රිකට් අනුග්‍රහයෙනි)

- 213


අදහස් (0)

බවුමාට දෙවරක්ම වාසනාව පෑදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.