Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වොලබීස්ලා නවසීලන්තය අන්දමන්ද කරති

වොලබීස්ලා නවසීලන්තය අන්දමන්ද කරති

Nisanka Sandeepani - 2017 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විඟර් ක්‍රීඩක රීස් හොජ් තරගයේ දෙවැනි භාගයේදී ගැසූ තීරණාත්මක දඬුවම් පහර දෙකකින් නවසීලන්තයේ ඕල් බ්ලැක්ස්ලා අන්දමන්ද කළ ඕස්ටේ්‍රලියානු වොලබීස්ලා තුන්වැනි හා අවසන් බ්ලෙඩිස්ලෝ කුසලාන රග්බි ටෙස්ට් තරගයෙන් ලකුණු 23-18 ක තියුණු මෙන්ම ඓතිහාසික ජයක් අත්කර ගැනීමට සමත්වූහ. 

ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවර සන්කෝප් ස්ටේඩියම් හී ඊයේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 13-12 ක් ලෙස නවසීලන්තයට වඩා එක් ලකුණක් පමණක් පසුපසින් සිටි ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් දෙවැනි භාගයේ 64 වැනි සහ 78 වැනි මිනිත්තුවලදී රීස් හොජ් ගැසූ දඬුවම් පහර දෙකම සාර්ථක විය. මීටර් 53 කටත් වඩා එපිටින් සිට ගැසූ පා පහර දෙකක් නිසා  ඉගිළුනු පන්දුව ප්‍රතිවාදී ගෝල් කණු අතරින් රිංගා ගියේ තරගය එහෙම පිටිනම් උඩුයටිකුරු කරමිනි. 

ඕල් බ්ලැක්ස්ලා හමුවේ ජයග්‍රහණයක් නොමැතිව නිමාවට පත්වූ තරග 6 ක ඉඩෝරයට විරාමයක් තබා මේ තරගය ජයගැනීමට වොලබීස්ලා සමත්වූවත් තරග 2-1 කින් තරගාවලියේ ජය හිමිවූයේ ඕල් බ්ලැක්ස් පිලටය. 

අයහපත් කාලගුණය නිසා පිටියේ තරමක් ලිස්සන සුලු ගතියක් පෙනුණු අතර ඉන් වැඩියෙන්ම බැට කෑවේ වොලබීස්ලාය. එසේවුවත් තරගය අත් නොහරිමින් අවසානය තෙක්ම ඇදගෙන යාමට ඔවුහු සමත්වූහ. 

තරගයේ ආරම්භයේදීම නවසීලන්තයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ලීමා සොපොවාගාගේ ග්‍රහණයෙන් මිදී තමා අතට පතිත වූ පන්දුව ඉතා සුරක්ෂිතව තුරුළුකරගෙන මීටර් 70 ක දුරක් දිව ගිය රීස් හොජ් තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ බර්නාඞ් ෆෝලේ වොලබීස්ලා ලකුණු 7-0 කින් ඉහළට ඔසවා තැබීමට සමත්විය. 

එහෙත් ඒ සතුට මිනිත්තු 7කට වඩා විඳ ගැනීමට වොලබීස්ලාට ඉඩ නොදුන් ඕල් බ්ලැක්ස් පිලේ වයිසාකේ නහෝලෝ ප්‍රතිවාදී සීමා ඉරේ කොණකින් රිංගා ඇවිත් තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්ථනය කර ලකුණු සංඛ්‍යාව 7-7 ක් ලෙස සමකර දැමූ සොපොවාගෝ ඊට මිනිත්තු කිහිපයකට පසුව දඬුවම් පහරකුත් එල්ල කරමින් ලකුණු 10-7 කින් සිය කණ්ඩායමට පෙරමුණ ගෙන දුන්නේය. 

එහි උණුසුම යාමට මත්තෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් සොපොවාගෝ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දමමින් ඕල් බ්ලැක්ස්ලාගේ සුපුරුදු දස්කම් පෙන්වීමට සමත්විය. එසේ වුවත් පළමු භාගය නිමාවීමට පෙර ෆුල් බෑක් ක්‍රීඩක ඉශ්‍රායෙල් ෆොලෝ අවතාරයක් මෙන් ඕල් බ්ලැක්ස්ලාගේ ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගොස් ඔහුගේ තරග 9 ක ටෙස්ට් දිවියේ 7 වැනි උත්සාහක දිනුම තැබුවේය. බර්නාඞ් ෆොලේට ඒ ප්‍රවර්ථනයේ ඉලක්කය වැරැදී ගියේය. ඒ සමගම පළමු භාගය නිමාවට පත්විය.

දෙවැනි භාගය ආරම්භවී මිනිත්තු දහයක් ගතවෙද්දිත් වොලබීස්ලාට ලැබුණු අනගි දඬුවම් පහරක් ෆෝලේ වරද්දා ගත් අතර ඊට මිනිත්තු හයකට පසුව නායක මයිකල් හූපර් ඔහුට ලැබුණු ඉතා පහසු දඬුවම් පහරක් නොසිතූ ලෙස මඟ හරවා ගත්තේය.

ඊට මොහොතකට පසුව දෙපිලම එක පොදියට පන්දුවට පොරකද්දී පන්දුව රැගෙන ඉන් මිදුණු මරිකා කොරිබේට් එක් කොණකින් සීමා ඉරට පැන අපූරු උත්සාහක දිනුමකින් වොලබීස්ලාට නැවත ලකුණු 17-13 කින් ඉහළට දැමුවේය. තරගයේ 64 වැනි මිනිත්තුවේදී රීස් හොජ් ඔහුගේ විස්මිත පා පහරින් සාර්ථක කරගත් දඬුවම් පහරකින් ලකුණු සංඛ්‍යාව 20-13 ක් ලෙස වොලබීස්ලා තවත් ඉදිරියට ගෙන ගියේය. ඒ වෙද්දී තරගය නිමාවීමට ඉතිරිව තිබුණේ මිනිත්තු 15ක් පමණි.

එහෙත් නැවත තරගයට විශිෂ්ට අයුරින් අවතීර්ණ වූ ඕල්බ්ලැක්ස්ලා ලකුණු සංඛ්‍යාව 18 ක් ලෙස ඉහළට දමාගත්තේ රිකෝ ලෝන් තැබූ උත්සාහක දිනුමකිනි. 

ලකුණු සංඛ්‍යාව 20-18 ක් ලෙස දිස්වෙද්දී තරගය නිමාවීමට ඉතිරිව තිබුණේ මිනිත්තු 9 ක් පමණි. ඕල් බ්ලැක්ස්ලාගේ සියලු බලාපොරොත්තු සුන් කරමින් හොජ් ඔහුගේ විස්මිත දඬුවම් පහර සාර්ථක කරගත්තේ තරගය නිමාවීමට මොහොතකට පෙරය. 

ලකුණු 5 ක පරතරය පියවීමට තරම් කාලයක් ඕල්බ්ලැක්ස්ලාට නොතිබිණ. 

- 077


අදහස් (0)

වොලබීස්ලා නවසීලන්තය අන්දමන්ද කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.