Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 ශී‍්‍ර ලංකා රන් පදක්කම් ගලගා බැලීම

ශී‍්‍ර ලංකා රන් පදක්කම් ගලගා බැලීම

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


මෙවර දකුණු ආසියාතික ක‍්‍රීඩා උළෙලේදී, ක‍්‍රීඩා පිටිය තුළ දී සිය ප‍්‍රධානම එදිරිවාදියා බවට ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාව තෝරා ගනු ලැබ තිබිණ. මේ එදිරිවාදීකම, තරග බිමෙන් ඔබ්බට රැගෙන යමින් පීඩනයක් ඇතිවන අන්දමෙන් ක‍්‍රියාවට නැංවීමට ගත් උත්සාහයන්ද නොතිබුණා නොවේ.

ඇතැම් තරඟවලදී තීරණය සහමුලින්ම විනිසුරුවරයා හෝ විනිසුරුවරිය අත රැඳිණ.

බොක්සිං, කබඩි සහ බර ඉසිලීමේ තරග වලදී ශී‍්‍ර ලංකාවෙන් එහි ගිය මාධ්‍යවේදීයෝ ඒ බව කදිමට දුටහ. එහෙත් විද්යුත් කාලඝණක යන්ත‍්‍රයේ තීරණයට හිස නැමිය යුතු බැවින්  පිහිනුම් සහ මලල ක‍්‍රීඩාවලදී එවැන්නක් කළ නොහැකි විය. එනිසා ඔව්හු වෙනත් උපක‍්‍රම භාවිතයට ගත්හ.

ඇතැම් අවස්ථාවලදී පිහිනුම් ක‍්‍රීඩකයන්ට නියමිත පරිදි තරග කාල සටහන් නොලැබිණ. මලල ක‍්‍රීඩාවේදී මේ තත්ත්වය වෙනත් ආකාරයකින් ක‍්‍රියාවට නැංවිණ. ගුවහටි දේශගුණය නිසා බොහෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සෙම ආශ‍්‍රිත ආසාදනයන්ට ගොදුරුව සිටි හෙයින් ඔවුන්ට වෛද්‍ය ප‍්‍රතිකාර පවා ගැනීමට සිදු විය.

දකුණු ආසියාවේ වේග රැජින බවට පත් වූ රොමේශිකා රත්නායක මීටර් 200 අවසන් තරඟයට මුහුණ දුන්නේ උණ රෝගය නිසා දැඩිව පීඩාවට පත්ව සිටියදීය.

එසේම චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක මීටර් 400 සහය තරඟයට සහභාගි වූයේද රෝහලේ සිට පැමිණය. මේ අතරවාරයේදීම ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ මානසික තත්ත්වය වඩාත් පීඩනයට ලක්කිරීම සඳහා ඉන්දියාව තහනම් උත්තේජන පරික්ෂාවද පීඩාකාරි ලෙස යොදා ගත් ආකාරය දක්නට ලැබිණ.

තහනම් උත්තේජන පරික්ෂණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට යම් යම්  චෝදනා එල්ල වී තිබුණද ඉන්දියාව සම්බන්ධයෙන් තත්ත්වය ඊට වඩා දරුණුය. මෑත ඉතිහාසයේ ඔවුන්ගේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පොකුරු පිටින් තහනම් උත්තේජන චෝදනාවන්ට වරදකරුවන් වූ අයුරු අපට අමතක නැත.

එවැනි තත්ත්වයක් තිබියදීත්, ඉන්දියාව දෙසට නොහැරුණු තහනම් උත්තේජන පරික්ෂාවන් සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පොකුරු පිටින් කැඳවීම කැපි පෙනුණ කාරණාවක් විය. කාලය කා දමමින්, තහනම් උත්තේජන අංශයේ අසුන්වල ඉඩ ඇහිරෙන තරමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ගාල් කර දැමීමට සාග් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීහු පියවර ගත්හ.

තරඟ සඳහා සහභාගි වූ සියල්ලන්ම තරගවලින් පසුව විශාල කාලයක් තහනම් උත්තේජන පරික්ෂණ අංශයේ රඳවා තබා ගැනීම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මානසික පීඩනයකි. ඔවුන් එසේ රඳවා ගත්තේ ඊ ළඟට තරඟ වදින්නට සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නොපෙනෙන සේය.

මේ තත්ත්වයෙන් ඉන්දියාව අපූරුවට ප‍්‍රයෝජනයට ගත් අතර ශ‍්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම් ඔවුන් සමඟ රැදි සිටිමින් තත්ත්වය සමනය කිරීමට යම් වෙහෙසක් ගත්තද එය සම්පූර්ණයෙන් සාර්ථක වූ බවක් සිතිය නොහැකිය.

මේ සමඟ වන ඡායාරූපය සොයාගන්නට දැඩි අපහසුතා මධ්‍යයේ බලවත් වෙහෙසීමක නිරත වන්නට සිදු විය. මෙම ඡායාරූපය සොයා යාමේ ඒකායන අරමුණ වූයේ රන් පදක්කමක දිස්නයෙන් වශීකාතව සිටින බාහිර සමාජය එම දීප්තියෙන් මුදා, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරඟ වැදුණු සැබෑ පරිසරය පිළිබඳ දැනුම්වත් කළ යුතු වීමත් ඒ පරිසරය සමග ඔවුන්ගේ දක්ෂතා සසඳා බැලීමට අවස්ථාවක් උදා කර දීමත් සඳහාය.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මලල ක‍්‍රීඩා තරග පැවැති ඉන්දිරා ගාන්ධි ක‍්‍රීඩා සංකීර්ණය තුළ පිහිටි තහනම් උත්තේජන පරීක්ෂණ මධ්‍යස්ථානයි.

මලල කී‍්‍රඩාවෙන් රන් පදක්කම් දිනාගත්තේ ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පමණක් නොවේ. මලල කී‍්‍රඩාවෙන් ශී‍්‍ර ලංකාව රන් පදක්කම් 9 ක් දිනාගනිද්දී ඉන්දියාව මලල කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 27 ක් දිනාගත්තේය.

එසේ වුවත් තහනම් උත්තේජන පරීක්ෂණ සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් පෙළ ගස්වා තිබූ ආකාරයත් එකම ඉන්දීය හෝ වෙනත් රටක ක‍්‍රීඩකයකු හෝ ක‍්‍රීඩිකාවක් එහි නොසිටි බවටත් මෙම ඡුායාරූපය සාක්ෂි දරයි.

 


අදහස් (2)

ශී‍්‍ර ලංකා රන් පදක්කම් ගලගා බැලීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.