Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 රිටි පැනීමේ ශූරයා අනුග‍්‍රාහකයකු සොයයි

රිටි පැනීමේ ශූරයා අනුග‍්‍රාහකයකු සොයයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) රිටි පැනීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ශ‍්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ ඉෂාර සඳරුවන් සිය ක‍්‍රීඩා දිවියේ ඉදිරි කටයුතු සඳහා අනුග‍්‍රහකයකුගේ සහයෝගය අපේක්ෂාවෙන් පසුවෙයි.

රිටි පැනීමේ ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන 22 හැවිරිදි ඉෂාර 2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පුහුණුවීම්වල නිරතවෙයි. ඉෂාර පවසන්නේ මෙම වසරේ බ‍්‍රසිලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් උළෙලට සහභාගිවනවාට වඩා පළමුව ආසියාව ජය ගැනීම සිය  අරමුණ බවයි.

”මට තාම වයස 22 යි. මගේ ඉලක්කය 2020 දී ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලයි, මේ වසරේ බ‍්‍රසීලයේ රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදානම් වෙන්න කාලේ මදියි”

”ආසියානු මට්ටමේ පදක්කමක් දිනා ගැනීම තමා මගේ මුලික ඉලක්කය, එයටයි මම දැන් සිට පුහුණුවීම්වල නිරතවෙන්නේ” යයිි පැවසූ ඉෂාර....

”ලංකාවේ මට අභියෝගයක් වන ක‍්‍රීඩකයෙක් නෑ. ඉතිං එහෙම කෙනෙක් ඉන්නවනම් මට තවත් දස්කම් අතරට යන්න තිබුණා” යැයිද පැවසීය.

ක‍්‍රීඩා අමාත්‍යංශය සහ ගුවන් හමුදාව තමන්ට උදව් කරන නමුත් අනුග‍්‍රහකයෙක් ලැබෙන්නේ නම් තමන්ගේ පුහුණු කටයුතු වලට වඩාත් ශක්තියක් වන බවත් හෙතෙම කියයි.

”රිටි පැනීමේ ක‍්‍රීඩාවේ නිරතවීමේදී වියදම් වැඩියි”

”ලංකාවේ පහසුකම් අඩුයි. රිටි පැනීමේ ක‍්‍රීඩාව සඳහා රිටක් ගන්නවනම් ලක්ෂ දෙකක් වගේ මුදලක් වැය වෙනවා” යැයි පවසන ඉෂාර.....

”ක‍්‍රීඩා අමාත්‍යංශය දැන් වෙනදට වඩා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගැන සැලකිල්ලක් දක්වනවා”

”ඒ වුණත් අනුග‍්‍රහකයකු මට ඉන්නව නම් විදෙස් රටකට හරි ගිහින් පුහුණුවීම් කරලා මගේ දස්කම් තවත් වැඩි දියුණු කර ගන්න පුඵවන් කියලා හිතනවා යැයි” කීය.

පොලොන්නරුව වැනි දුෂ්කර ප‍්‍රදේශයකින් පැමිණ රිටි පැනීමේ ජාතික ශූරයා වු ඉෂාර සාග් රන් පදක්කම හිමිකර ගත් අයුරු පැවසුවේ මෙලෙසිනි.

”සාග් රන් පදක්කම දිනා ගත්තේ මීටර 4 සෙන්ටිමීටර 90 ක උසක් පැනලා”
”රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාවත් මගේ. මීටර 4.91 යි. මගේ අපේක්ෂාව වුණේ සාග් ක‍්‍රීඩා උළෙලේදී මීටර පහෙන් එහා දස්කමක් දක්වන්නයි. අවාසනාවට ඒ අවස්ථාව මට ලැබුණේ නෑ.”

තමන්ට අභියෝගයක් දීමට තරම් දකුණු ආසියාවේ රටවල්’හි රිටි පනින්නන් දක්ෂ නැතැයිද ඉෂාර පැවසිය.

”සාග් රිටි පැනීමේ තරගාවලියේදිත් මට අභියෝගයක් වුණ ක‍්‍රීඩකයෙක් හිටියේ නෑ, එදා මට එහෙම තරගයක් දෙන්න ක‍්‍රීඩකයෙක් සිටියා නම් මීටර පහෙන් එහාට පනින්න මට අවස්ථාව ලැබෙන්නත් තිබුණා.  

”අන්තර්ජාතික මලල ක‍්‍රීඩා තරගාවලියකට සහභාගි වුණ දෙවැනි අවස්ථාව මෙයයි. මුලින්ම තායිලන්තයේ තායි විවෘත මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගිවුණා. ඒ තරගාවලියේදී මම ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා සිවුවැනි ස්ථානය ලබාගත්තා”
නිමා වු සාග් ක‍්‍රීඩා උළෙලේදී මම පළමුවරට පදක්කමක් දිනා ගත්තේ යැයි ඉෂාර වැඩි දුරටත් තම ක‍්‍රීඩා දස්කම් ගැන අදහස් දැක්වීය.

පොලොන්නරුවේ ඉරහඳ කෙටුවැව විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා පසුව වලල ඒ. රත්නායක විද්‍යාලයෙන් 7 ශ්‍රේණියේ සිට උසස් පෙළ විභාගය දක්වා ඉගෙනුම ලබා තිබේ.

”මම පාසල් යන කාලේ වැඩියෙන්ම දස්කම් දැක්වුයේ උස පැනීම ඉසව්වටයි. පසුකලෙක මම රිටි පැනීම ඉසව්වට යොමු වුණා”

ඉෂාර තමන්ට ශක්තියක් වු පුද්ගලයන් පිළිබඳව පැවසුවේ නොකියාම බැරි කරුණක් ඇතැයි පවසමිනි.

”මට අද වෙනකම් උදව් කරන්නේ චන්දන වන්නිආරච්චි සර්, එයාගේ පෞද්ගලික වියදමින් මට රිටි පැනීමට අවශ්‍ය රිටවල් ගෙනත් දෙනවා.

 ”එයා අරගෙන දුන්න රිටවල් වලින් තමා මම මේ පාර සාග් ගිහින් ක‍්‍රීඩා කළෙත්, රිටවල් මේ වෙද්දී 10 ක් 12 ක් වගේ මට අරන් දීලා තියෙනවා යැයි”  පැවසීය.

පුහුණුකරු එස්. කේ. ගුණරත්න මහතා මෙන්ම ගුවන් හමුදාවටත් විශේෂයෙන් ස්තූතිවන්ත වන බව ඉෂාර සඳහන් කළේය.

 


අදහස් (0)

රිටි පැනීමේ ශූරයා අනුග‍්‍රාහකයකු සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.