Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය

අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෙවී යමින් පවතින 2017 වර්ෂය අමතක කිරීමට හැකිනම් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඊට බෙහෙවින් කැමති වනු ඇත. පාදයේ ආබාධ හේතුවෙන් ඔහුට තරගාවලි කිහිපයක්ම මඟහැරී යාම ඊට එකම හේතුව නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් දිගු පරාජයන් වැලකදීම කණ්ඩායමේ සිටියත් ශ්‍රී ලංකා පිල ජයගත් පාකිස්තානු ටෙස්ට් තරගාවලියේදී ඊට දායක වන්නට නොහැකි වීමත් මැතිව්ස්ගේ මනසේ රැඳී ඇතුවාට සැකයක් නැත.

වසර මුලදීම, දකුණු අප්‍රිකාවේදී, පාදයේ ආබාධයකට ලක්වූ මැතිව්ස්ට ඕස්ටේ්‍රලියානු සංචාරය මෙන්ම බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියද අහිමි විය. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී කණ්ඩායමට එක්වූ නමුත් සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී ලද පරාජයත් අනතුරුව එල්ල වූ විවේචනත් හේතුවෙන් මැතිව්ස් නායකත්වයේ කටු ඔටුන්න හැරදමා ගියේය. පිතිකරුවකු ලෙසින් කණ්ඩායමේ සිටියද ඉන්දීයාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගාවලියේදී නැවතත් පාදයේ ආබාධයකට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙසින් හිටපු නායකයාට පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලිය අහිමි විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ජයග්‍රාහී ටෙස්ට් තරගාවලියේ කොටස්කරුවකු වන්නට ඔහුට නොහැකි වූයේ එබැවිනි. එසේ වුවත් විශේෂඥ පිතිකරුවකු ලෙසින් ඉන්දීය සංචාරයේදී කණ්ඩායමට එක්වීමෙන් පසුව අර්ධ ශතක සම්බන්ධයෙන් මැතිව්ස්ගේ මතය වෙනස් වී තිබේ. මැතිව්ස් කියා සිටින්නේ ටෙස්ට් තරග වලදී අර්ධ ශතක ලබාගැනීමේ ප්‍රයෝජනයක් නැති බවයි.

“ලකුණු 50 ක් ගහන එකෙන් කාටවත්, ඒ කියන්නේ මටවත් මා ඉන්න කණ්ඩායමටවත් වැඩක් වෙන්නේ නෑ. හොඳ ආරම්භයක් ලබාගත්තොත් ඒක දිගු ඉනිමක් කරගන්නම ඕනෑ.”

“ලකුණු 50 ක් කියන්නේ ඒ තරම් වැඩක් ඇති දෙයක් නෙමේ. ශතකයක් තමයි වැදගත්” යයි සිය පුනරාගමනයේදී ඉන්දීය පිලට එරෙහිව ලකුණු 52 ක් ලබාගත් මැතිව්ස් පැවසීය.

කොල්කටා ටෙස්ට් තරගයේදී පන්දු 94 ක් තිස්සේ වෙහෙසවී ලකුණු 52 ක් ලබාගත් නමුත් ඒ ගැන ඔහුට සතුටක් නැත.

“මා ටෙස්ට් තරග වලදී පන්දු යැවීම නැවැත්වූයේ තාවකාලිකවයි. ඒ මගේ වෙහෙස තරමක් පාලනය කරගන්නයි...කොහොම වුණත් මා දැන් ක්‍රීඩා කරන්නේ පිතිකරුවකු ලෙසින්. ඒත් මම හිටපු නායකයා..ඒ වගේම ප්‍රධානතම පිතිකරුවා කියලා මම හිතන්නේ නෑ. ඔක්කොම එක සමානයි. කවුද මැද්දට යන්නේ...පුළුවන් තරම් ලකුණු සංඛ්‍යාවක් රැස්කරන්න එයා බර කරට ගන්න ඕනා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම අංක 4 පිතිකරුවා කියයි.

වර්තමානයේ පිතිකරුවකුට හෝ පන්දු යවන්නකුට සාර්ථක විය හැක්කේ තමන් විසින් ඊළඟට මුහුණ දෙනු ලබන හෝ ඊළඟට යවනු ලබන පන්දුව කොයි ආකාරයේ එකක් විය හැකිද යන්න පිළිබඳව අවදියෙන් සිටීම මතය. අවසන් වරට යැවුණු පන්දුවේදී සිදුවූයේ කුමක්ද යන්න සිතාබැලීමට කාලයක් නැත.

“මා දැවී ගිය අවස්ථාවේදී වුණෙත් ඒකමයි. අවධානය ගිළිහුණා නෙමේ..මා උත්සාහ කළේ ලකුණු ලබාගන්නයි. ඒත් ඒ පහර ගහන්න යද්දි මා ටිකක් නතර වුණා. සමහර විට මා ඒ පන්දුව නිදැල්ලේ යැව්වා නම් හොඳයි.

ඒත්..මේ වගේ තණතීරුවකදී නිකම්ම ඉන්න බෑ. ලකුණු තමයි වැදගත් වෙන්නේ. ඕනෑම වෙලාවක හොඳ පන්දුවකින් දැවී යන්න පුළුවන්....ඕවා ඔහොම තමයි” යයිද මැතිව්ස් සෙනසුරාදා තරගයෙන් අනතුරුව පැවසීය.

ආබාධයකින් පසුව නැවතත් තරග බිමට අවතීර්ණ වන ඕනම ක්‍රීඩකයකුට තමන්ගේ නියමිත රිද්මයට ලඟාවීම සඳහා බොහෝ වෙහෙස මහන්සියෙන් කටයුතු කිරීමට සිදුවෙයි. ඒ සඳහා කිසියම් කාලයක් ගතවීම සාමාන්‍යය තත්ත්වයකි. පාකිස්තානු තරගාවලියට සහභාගි නොවීම නිසා ඒ අතරතුර කාලයේදී හොඳ විවේකයක් ගත් මැතිව්ස් ඉන්දීය තරගාවලියට ශාරීරිකව මෙන්ම මානසිකවද සූදානම් වූයේය.

වසර කිහිපයකට ඉහතදී තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් කණ්ඩායමට එක්වූ මැතිව්ස් පසුව මැද පෙළ පිතිකරුවන් අතරට යමින් පළමුව අංක 6 ස්ථානයේත් පසුව අංක 5 ස්ථානයේ ස්ථාවර විය. මේ වන විට කණ්ඩායමේ සිටින වඩාත්ම විශ්වාසය තැබිය හැකි පිතිකරුවා ලෙසින් අංක 4 ස්ථානයේ වගකීම බාරගෙන සිටී. වත්මන් ටෙස්ට් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් 15 දෙනා අතුරින් මීට පෙර ඉන්දියාවේදී ටෙස්ට් තරගයකට සහභාගි වූ ක්‍රීඩකයන් වන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ රංගන හේරත් පමණි.

“අපි හොඳ රිද්මයකින් නොසිටින විට දිගින් දිගටම ක්‍රීඩා කිරීම ඒ තරම් පහසු දෙයක් නෙමේ. ඇත්තටම මට වසර 2013 ඉඳලා හොඳ තරග සමයක් තිබුණා. ඒත් පස්සේ මගේ ශරීරය වෙහෙසට පත්වුණා”
“ඒ හින්දා කිසියම් ආකාරයට මගේ වෙහෙසවීම පාලනය කරගන්න වෙනවා. ඒකට පළපුරුද්දත් ටිකක් උවමනායි...මා අනිත් ක්‍රීඩකයන්ට වඩා තරග කිහිපයක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒත් මෙහේදි ලේසි වෙන එකක් නෑ. ඉන්දියාව කියන්නේ අති විශිෂ්ට කණ්ඩායමක්. ඔවුන් එක්ක තරග කරන්න ඉතාමත් හොඳ මට්ටමක ඉන්න ඕනා” යයි පැවසූ දකුණත් පිතිකරුවා....

“පසුගිය වසර කීපයේදීම ඉන්දියාවෙන් ඉතාමත් හොඳ වේග පන්දු යවන්නන් බිහිවුණා. මොහොමඞ් ශාමි, බුවනේෂ්වර් කුමාර්, උමේෂ් යාදව්....මේ තුන් දෙනාම ලෝක මට්ටමේ වේග පන්දු යවන්නෝ. ඔවුන්ගෙන් ලකුණු ලබාගන්න නම් අපි මානසිකවත් ඊට සූදානම් වෙන්න ඕනේ” යයිද පැවසීය.

වසර 2009 මුම්බායි ටෙස්ට් තරගයේදී සිය මංගල ටෙස්ට් ශතකය පෙනෙන මානයට පැමිණි මැතිව්ස් එම තරගයේදී ලකුණු 99 දී දුවද්දී දැවී ගියේය. ඔහු ආපසු මුම්බායි ක්‍රීඩාගාරයට පියමැන්නේ කඳුළු පිරි දෙනෙතිනි. එහෙත් වසර 8 කට පසුව තත්ත්වය වෙනස් වී තිබේ.

“මේ වෙනකොට මා හොඳ තත්ත්වයක සිටිනවා. ඉදිරියේදී පැවැත්වෙන තරග කිහිපයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිපුර යමක් කරන්න මට පුළුවන් වේවි” යයි මැතිව්ස් කීවේ ආත්ම විශ්වාසය පොදිබැඳ ගනිමිනි. කොල්කටාවේදී ලබාගත් අර්ධ ශතකය ඔහුට එම ආත්ම විශ්වාසය ගෙනැවිත් දී තිබිණ.

 


අදහස් (0)

අර්ධ ශතක පිළිබඳ මැතිව්ස් මතය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.