Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football හැරී කේන් එංගලන්තය දිනවයි

හැරී කේන් එංගලන්තය දිනවයි

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

නායක හැරී කේන්ගේ කැපීපෙනෙන දස්කම් හමුවේ යුක්රේනයට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 4-0 ක් පහසු ජයක් ලැබූ එංගලන්තය, යූරෝ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව මේ මස 7 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඩෙන්මාර්කයට එරෙහිව එංගලන්තය තරග බිමට පිවිසීමට නියමිතය.

තරගය ආරම්භ වී විනාඩි 4 ක් ගතවන විට රහීම් ස්ටර්ලින්ගේ සහයෝගයෙන් ගෝලයක් ලබාගත් හැරී කේන් එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එම ‍ගෝලයත් සමග ගෝල 1-0 ක් ලෙස පළමු අර්ධය නිමාවට පත් වූ අතර දෙවැනි අර්ධයේදී එංගලන්ත ක්‍රීඩක‍යෝ දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයකට අවතීර්ණ වූහ.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩියක් ගතවන විට (46 වැනි විනාඩියේදී) නිදහස් පහරක් මගින් හැරී මැගුවර්ට ගෝලයක් ලබාගැනීම සඳහා සහයෝගය දැක්වූ ලුක් ෂෝ, ඉන් විනාඩි 4 කට පසුව හැරී කේන්ට තවත් ගෝලයක් ලබාගැනීම සඳහා දක්ෂ පන්දු යොමුකිරීමක නිරත විය. එහිදී තමා වෙත පැමිණි පන්දුව දැලට යාර 6 ක් පමණ මෙපිටින් සිට හිසින් දැල තුළට යොමු කිරීමට කේන් සමත් විය.

තරගයේ 63 වැනි විනාඩියේදී මෙසන් මවුන්ට්ගේ පැති පහරක් මගින් දැල අසලට ඇදී ආ පන්දුව නිවැරදිව ස්ථානගත වී හිසින් දැල තුළට යොමු කිරීමට සමත් වූ අතිරේක ක්‍රීඩක ජෝර්ඩ්න් හෙන්ඩර්සන් එංගලන්තයට ගෝල 4-0 ක ජයක් අත්කර දුන්නේය. මේ දක්වා ජාත්‍යන්තර තරග 62 කට සහභාගි වී ඇති හෙන්ඩර්සන් එහිදී ලබාගත් පළමු ගෝලය මෙය විය.

‘ඩී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එංගලන්තය,  ගෝල 2-0 ක්‍ලෙස ජර්මනිය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ‘සී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ යුක්රේනය, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී ස්වීඩනයට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමිනි.

මූලික වටයේදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද, චෙක් ජනරජයට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද ජය වාර්තා කළ එංගලන්තය, ස්කොට්ලන්තය සමග ගෝල 0-0 ක් ලෙස සමවිය. එහිදී උතුරු මෙසිඩෝනියාවට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කළ යුක්රේනය, නෙදර්ලන්තය හමුවේ ගෝල 3-2 ක් ලෙසද, ඔස්ට්‍රියාව හමුවේ ගෝල 1-0 ක් ලෙසද පරාජයට පත්විය.

 

‍-036


අදහස් (0)

හැරී කේන් එංගලන්තය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.