Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football හැරී කේන් එංගලන්තය අවසන් තරගයට ගෙනෙයි

හැරී කේන් එංගලන්තය අවසන් තරගයට ගෙනෙයි

editorial - 2021 ජුලි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 55 ක් පුරා ලොව ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබීමට අපොහොසත්ව සිටි එංගලන්තය, එම අවාසනාවට තිත තබමින් යූරෝ 2020 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඒ ඩෙන්මාර්කයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අද (8 වැනිදා) අළුයම පැවැති අවසන් පූර්ව තරගය තියුණු සටනකින් අනතුරුව ගෝල 2-1 ක් ලෙස ජයගනිමිනි.

තරගයේ 30 වැනි විනාඩියේදී ඩෙන්මාර්කය වෙනුවෙන් ගෝලයක් ලබාගත් මිකෙල් ඩෑම්ස්ගාඩ් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එහෙත් එම ගෝලයේ සතුට වැඩි වේලාවක් බුක්තිවිඳීමට ඩෙන්මාර්කයට නොහැකි වූයේ නායක සයිමන් කජර් අත්වැරදීමකින් සිය දැල තුළටම පන්දුව යොමු කිරීම නිසා 39 වැනි විනාඩියේදී එංගලන්තයට ගෝලයක් හිමිවිම හේතුවෙනි.

ඒ අනුව ගෝල 1-1 ක් ලෙස තරගයේ පළමු අර්ධය නිමාවට පත් වූ අතර දෙවැනි අර්ධයේදී ගෝල ලබාගැනීමට දෙපිලේම ක්‍රීඩකයෝ අසමත් වූහ. එබැවින් අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරයා පියවර ගත් අතර වෙම්බ්ලි ක්‍රීඩාංගණයට රැස්ව සිටි 66,000 ක් පමණ වූ ප්‍රේක්ෂකයන්ගේ ඔල්වරසන් මැද 104 වැනි විනාඩියේදී ගෝලයක් ලබාගත් නායක ‍හැරී කේන් එංගලන්තය ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

ඊට විනාඩියකට (103 වැනි විනාඩියේදී) පෙර ඩෙන්මාර්කයේ රහීම් ස්ටර්ලින්, නීති විරෝධී ලෙස ජෝකීම් මහල්ට බාධා කිරීම හේතුවෙන් එංගලන්තයට දඬුවම් පහරක් හිමිවුවද, එය සාර්ථක කර ගැනීමට හැරී කේන්ට නොහැකි විය. එම අවස්ථාවේදී කේන්ගේ පහර නවතාලීමට ඩෙන්මාර්ක දැල රකින ක්‍රීඩක කැස්පර් ස්මයිකල් සමත් වුවද, ඉන් විනාඩියකට පසු ඔහු කේන් හමුවේ මුළුමුලින්ම පරාජයට පත් විය.

මෙම ජයත් සමග මේ මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඉතාලියට එරෙහිව තරග වැදීම සඳහා එංගලන්තය අවස්ථාව උදා කරගත්තේය. ඉතාලිය මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර එංගලන්තය එහි 4 වැනි ස්ථානයේ පසුවේ. ඊ‍යේ (7 වැනිදා) අළුයම පැවැති සෙසු අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයට එරෙහිව දඬුවම් පහර 4-2 ක ජයක් ලබමින් ඉතාලිය අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේය

වසර 61 ක ඉතිහාසකයට හිමිකම් කියන යූරෝ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගකට පිවිසීමට එංගලන්තය අවස්ථාව උදාකරගත් පළමු අවස්ථාවද මෙය විය. මින් පෙර ඔවුන් 1968 සහ 1996 යන වසරවල පැවැති යූරෝ පාපන්දු තරගාවලීන්හි තෙවැනි ස්ථානයන්ට පත්ව සිටි අතර එය ඔවුන් යූරෝ පාපන්දු තරගාවලින්හිදී දක්වා තිබූ ඉහළම දක්ෂතාව විය‍.

1996 වසරේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමෙන් පසුව එංගලන්තය ලොව ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවද මෙය විය. එවර ඔවුහු ජර්මනිය පරාජය කරමින් ලෝක කුසලානය ජයගත්තේය.

මෙම තරගයේදී එංගලන්තය හමුවේ පරාජයට පත්වූ ඩෙන්මාර්කය මින් පෙර 1992 වසරේදී පැවැති යූරෝ පාපන්දු තරගාවලියේ ශූරයන් බවට පත්වූ අතර අවස්ථා 2 කදී (1964 සහ 1984) එහි තෙවැනි ස්ථානයටද පත් විය. කෙසේ වුවත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අසමත් වූ ඩෙන්මාර්කයට මෙවරද තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.  

‘ඩී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එංගලන්තය, එහිදී ගෝල 2-0 ක්‍ලෙස ජර්මනිය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී යුක්රේනයට එරෙහිව ගෝල 4-0 ක පහසු ජයක් වාර්තා කරමිනි.

‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඩෙන්මාර්කය, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී ගෝල 4-0 ක්‍ ලෙස වේල්සය පරාජය කරමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී චෙක් ජනරජයට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමින් ඩෙන්මාර්කය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මෙවර තරගාවලියේ ඩෙන්මාර්කය සහභාගි වූ පළමු තරගය අතර තුළ ඔවුන්ගේ ප්‍රබල ඉදිරි පෙළ ක්‍රීඩකයකු වූ ක්‍රිස්ටියන් එරික්සන් හෘදයාබාධක් හේතුවෙන් පිටිය මත සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කළේය. ඒ හේතුවෙන් දැඩි පීඩනයක් යටතේ ක්‍රීඩා කළ ඩෙන්මාර්කය එම තරගය ගෝල 1-0 ක් ලෙස ෆින්ලන්තය හමුවේ පරාජයට පත්විය.

ඉන් අනතුරුව ‍ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම හමුවේද ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්වූ ඩෙන්මාර්කය, මූලික වටයේ අවසන් තරගයේදී රුසියාවට ‍එරෙහිව ගෝල 4-1 ක ජයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට ‍අවතීර්ණ විය. මූලික වටයේදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද, චෙක් ජනරජයට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද ජය වාර්තා කළ එංගලන්තය, ස්කොට්ලන්තය සමග ගෝල 0-0 ක් ලෙස සමවිය.

-036


අදහස් (0)

හැරී කේන් එංගලන්තය අවසන් තරගයට ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.