Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බෙල්ජියමේ අපරාජිත බව ඉතාලිය හමුවේ බිඳ වැටෙයි

බෙල්ජියමේ අපරාජිත බව ඉතාලිය හමුවේ බිඳ වැටෙයි

editorial - 2021 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියමට එරෙහිව ඊයේ (2 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගෝල 2-1 ක් ලෙස ජයගනිමින් යූරෝ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඉතාලිය සමත් විය. ඒ අනුව මේ මස 6 වැනිදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤයට එරෙහිව ඉතාලිය තරග බිමට පිවිසීමට නියමිතය.

මෙවර තරගාවලියේ තරග 5 කට සහභාගී වී ඇති ඉතාලිය එම තරග 5 ම ජයගනිමින් මේ වන විට 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටියි. මේ වන විට ලෝක ‍පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන ඔවුන් ජාත්‍යන්තර පාපන්දු පිටියේදී පිට පිටම ලැබූ 13 වැනි ජයග්‍රහණය මෙයයි. අවසන් වරට සහභාගි වූ තරග 32 දීම පරාජය නොවී සිටීමටද ඉතාලියට හැකි වී ඇත.

මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග තරගාවලිය තුළ 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටි බෙල්ජියමේ අපරාජිත වාර්තාව බිඳවැටුණ අතර ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමටද සිදුවිය. තරගාවලිය පුරා දක්ෂ ‍ලෙස ගෝල ලබාගත් බෙල්ජියම් ක්‍රීඩකයෝ මෙම තරගයේදී ඉතාලිය හමුවේ ගෝල ලබාගැනීමට අසමත් වූ අතර එහිදී ඔවුන්ට හිමිවූ එකම ගෝලයද දඬුවම් පහරක් විය.

තරගයේ 31 වැනි විනාඩියේදී මාර්කෝ වරාටිගේ සහයෝගයෙන් ගෝලයක් ලබාගත් නිකොලෝ බැරේලා, ඉන් නොනැවතී 44 වැනි විනාඩියේදී ලොරෙන්සෝ ඉන්සිග්නේට ගෝලයක් ලබාගැනීම සඳහා දක්ෂ පන්දු යොමු කිරීමකද නිරත වෙමින් ඉතාලි ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

පළමු අර්ධයේ අතිරේක කාලයේදී ඉතාලියේ ජියෝවානි ඩි’ ලොරෙන්සෝ, බෙල්ජියමේ ජෙරමි ඩොකුට නීති විරෝධී ආකාරයෙන් බාධා කිරීම නිසා බෙල්ජියමට ‍දඬුවම් පහරක් ලබාදීමට විනිසුරුවරයා පියවරගත් අතර එය සාර්ථක කරගැනීමට රොමේලු ලුකාකු සමත් විය.

එම ගෝලත් සමග ගෝල 2-1 ක් ලෙස ඉතාලියට පෙරමුණ අත්කර දෙමින් තරගයේ පළමු අර්ධය නිමාවට පත් විය. තරමක කලබලකාරී ස්වරූපයක් පෙන්නුම් කළ දෙවැනි අර්ධයේදී කණ්ඩායම් දෙකම ක්‍රීඩක ආදේශක කිරීම් කිහිපයකම නිරත වුවද, එහිදී දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකි වූහ.  

‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඉතාලිය, එහිදී ගෝල 2-1 ‍ක් ලෙස ඔස්ට්‍රියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ බෙල්ජියම, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී පෘතුගාලයට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කරමිනි.

මූලික වටයේදී තුර්කියට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, වේල්සයට එරෙහිව ගෝල 1-0 ක් ලෙසද ජය වාර්තා කිරීමට ඉතාලිය සමත් විය. එහිදී රුසියාවට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, ඩෙන්මාර්කයට එරෙහිව ගෝල 2-1 ක් ලෙසද, ෆින්ලන්තයට එරෙහිව ගෝල 2-0 ක් ලෙසද බෙල්ජියම ජය වාර්තා කළේය.  

‍-036


අදහස් (0)

බෙල්ජියමේ අපරාජිත බව ඉතාලිය හමුවේ බිඳ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.