Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football බ්‍රසීලය - ආර්ජන්ටිනාව කරට කර සටනක

බ්‍රසීලය - ආර්ජන්ටිනාව කරට කර සටනක

editorial - 2021 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (11 වැනිදා) අළුයම 5.‍30 ට බ්‍රසීලයේ මරකානා පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී බ්‍රසීලයට එරෙහිව ආර්ජන්ටිනාව තරග බිමට පිවිසීමට නියමිතය. මේ වන විට බ්‍රසීලය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන අතර ආර්ජන්ටිනාව එහි 8 වැනි ස්ථානයේ රැදී සිටියි.

පළමු අවසන් පූර්ව තරගයේදී ගෝල 1-0 ක් ලෙස පේරු රාජ්‍යය පරාජය කරමින් බ්‍රසීලය තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ආර්ජන්ටිනාව අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගය ගෝල 1-1 ක් ලෙස සමවීමෙන් අනතුරුව දඬුවම් පහර 3-2 ක් ලෙස කොලොම්බියාව පරාජය කරමිනි.

මින් පෙර අවස්ථා 10 කදී බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලීන්හි අවසන් මහ තරගවලදී එකිනෙකාට එරෙහිව තරග වැදී ඇත. ඉන් අවස්ථා 8 කදීම බ්‍රසීලය පරාජය කිරීමට ආර්ජන්ටිනාව සමත්ව ඇති අතර ආර්ජන්ටිනාව පරාජය කිරීමට බ්‍රසීලය සමත්ව ඇත්තේ අවස්ථා 2 කදී පමණි.

මේ දක්වා පැවැති දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලි‍ 46 න් 14 ක ශූරයන් බවට පත්ව සිටින ආර්ජන්ටිනාව අවස්ථා 14 කදී එහි අනු ශූරතාවද, අවස්ථා 5 කදී තෙවැනි ස්ථානයද හිමිකර ගෙන ඇත. අවසන් වරට පැවැති (2019) තරගාවලියේ ශූරතාවද සමගින් ශූරතා 9 කට හිමිකම් කියන බ්‍රසීලය, අනු ශූරතා 11 ක් සහ තෙවැනි ස්ථාන 7 ක් හිමිකර ගෙන සිටියි.

අවස්ථා 5 කදී පිට පිටම දෙවරක් බැගින් (1927-1929, 1945-1946, 1946-1947, 1957-1959 සහ 1991-1993) දකුණු ඇමරිකානු ශූරතාව දිනාගැනීමට සමත් වූ ආර්ජන්ටිනාව, එක් අවස්ථාවකදී පිට පිටම තෙවරක් (1945-1946-1947) එම ශූරතාව තමන් සතු කරගත්තේය. අවස්ථා 2 කදී පිට පිටම දෙවරක් බැගින් (1997-1999 සහ 2004-2007) බ්‍රසීලය දකුණු ඇමරිකානු ශූරතාවට හිමිකම් කීවේය.

මින් පෙර බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව ජාත්‍යන්තර පාපන්දු තරග 111 කදී එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර ඉන් තරග 46 කදීම ජය ලැබීමට බ්‍රසීලය සමත්වී ඇත. සෙසු තරග 65 න් 40 ක් ජයගැනීමට ආර්ජන්ටිනාව සමත්ව ඇති අතර තරග 25 ක් ජය පැරදු‍මකින් තොරව නිමාවට පත්වී ඇත. ඒ අනුව ජයග්‍රහණ සංඛ්‍යාව අතින් ගත් කළ ආර්ජන්ටිනාවට වඩා බ්‍රසීලය ඉදිරියෙන් සිටියි.

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරග වැදී ඇත්තේ 2019 වසරේ නොවැම්බර් මාස‍යේදී පැවැති ඇමරිකානු ‘සුපර් ක්ලැස්කෝ ඩි ලස්’ තරගාවලියේදීය. එහිදී ගෝල 1-0 ක් ලෙස බ්‍රසීලය පරාජය කිරීමට ආර්ජන්ටිනාව සමත් විය. අවසන් වරට ආර්ජන්ටිනාව පරාජය කිරීමට බ්‍රසීලය සමත්ව ඇත්තේ එම වසරේම ජූනි මාසයේදී පැවැති දකුණු ඇමරිකානු පාපන්දු තරගයකදීය. එම තරගයෙන් ගෝල 2-0 ක් ලෙස බ්‍රසීලය ජය ලැබීය.

මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘බී’ කාණ්ඩයේ ශූරයන් ලෙස බ්‍රසීලය මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී චිලි රාජ්‍යයට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලබමිනි.

ආර්ජන්ටිනාව මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි‍යේ මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙසිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී ඉක්වදෝරයට එරෙහිව ගෝල 3-0 ක ජයක් ලබමින් ඔවුහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

මූලික වටයේදී ගෝල 3-0 ක් ලෙස වෙනිසියුලාවද, ගෝල 4-0 ක් ලෙස පේරු රාජ්‍යයද, ගෝල 2-1 ක් ලෙස කොලොම්බියාවද පරාජය කිරීම සමත් වූ බ්‍රසීලය, එහි අවසන් තරගයේදී ඉක්වදෝරය සමග ගෝල 1-1 ක් ලෙස සම විය. මූලික වටයේ පළමු තරගයේදී චිලී රාජ්‍යය සමග ගෝල 1-1 ක් ලෙස සම වූ ආර්ජන්ටිනාව, ඉන් අනතුරුව ගෝල 1-0 ක් ලෙස උරුගුවේද, ගෝල 1-0 ක් ලෙස පැරගුවේද, ගෝල 4-1 ක් ලෙස බොලීවියාවද පරාජය කළේය.

-036


අදහස් (0)

බ්‍රසීලය - ආර්ජන්ටිනාව කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.