Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football පාපන්දු පිල පැරදුනත් දිරි දීමනා

පාපන්දු පිල පැරදුනත් දිරි දීමනා

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ලෝක කුසලාන සුදුසුකම් අවසන් තරග දෙකේදී සෑහීමකට පත්විය හැකි තරග හැසිරීමක් ප්‍රදර්ශනය කළ බැවින්, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාට දිරිගැන්වීමේ දීමනාවක් ප්‍රදානය කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

එය ඔවුන්ට ඉදිරියේදී ලබාදෙන බව පැවැසූ අනුර ද සිල්වා මහතා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ලෙබනනයට එරෙහිව පැවැති තරගයේදී ගෝල දෙකක් එරෙහිව ලැබීමට සමත් වීම පාපන්දු සම්මේලනය ඉහළින් අගය කරන බවත් පැවැසීය.

‘සෝල්’ නුවර  සිට බ්‍රහස්පතින්දා රාත්‍රියේ (10) පෙරළා දිවයිනට ළඟා වූ සංචාරක ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළේදී පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ඇතුළු එහි නියෝජිතයන් කිහිප දෙනකු විසින් පිළිගන්නා ලදී.

පසුගිය ජුනි 5 වැනිදා හා 9 වැනිදා ‘සෝල්’ නුවරදී පැවැති ලෝක කුසලාන (2022) ආසියානු කලාප දෙවැනි වටයේ තරග දෙකකදී ශ්‍රී ලංකාව ලෙබනනයට ගෝල 3-2ක් හා සත්කාරක දකුණු කොරියාවට ගෝල 5-0-ක් ලෙස පරාජයට පත්විය.
එසේ වුවත් ශ්‍රී ලංකාවට මෙම තරග දෙකේදී මුණගැසුණේ වඩාත් ප්‍රබල ප්‍රතිවාදීන් දෙදෙනකු බැවින් ඔවුන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරීම වඩාත් අගය කළ හැකි මට්ටමක තිබූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පිළිගන්නා බව එහි සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

ප්‍රතිවාදීන් එකිනෙකා දෙවතාවක් මුණගැසුණු මෙම තරග වටයේ පළමු මුණගැසීමේදී ශ්‍රී ලංකාව ලෙබනනයට ගෝල 3-0කින් ද, දකුණු කොරියාවට ගෝල 8-0කින් ද පරාජය විය.

පසුගිය මැයි 27 වැනිදා සිදුකළ නවතම දත්ත පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් බවට පත්වූ ලෙබනනය 93 වැනි ස්ථානයේ ද දකුණු කොරියාව 39 වැනි ස්ථානයේ ද පසු විය. එහිදී දකුණු කොරියානුවෝ ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව තෙවැනි ස්ථානය තෙක් ඉහළට ඒ වනවිට පැමිණ සිටියහ.

සෝල් නුවරින් යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාම සහ එහි පරිවාර නිලධාරීන් කටුනායක ගුවන්තොටුපොළේ සිට කෙළින්ම බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථානයට පැමිණි අතර, ඔවුන් එතැන් සිට සති දෙකක නේවාසික නිරෝධායන කාලයක් ගෙවා  දැමීම කළ යුතුය. ඔවුන්ට නැවත නිවෙස් බලා යාමට අවස්ථාව ලැබෙන්නේ එයින් පසුවය.

පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මෙසේ ද පැවැසීය.

“වසීම් රසීක් ක්‍රීඩකයා ලෙබනනය සමග පැවැති තරගයේදී ගෝල දෙකක් ලබාගැනීම අපි  ඉහළින් අගය කරනවා. ඒ වගේම ඔහුට පළමු ගෝලය ලබාගැනීමට පන්දුව යොමු කළ කවිඳු ඉෂාන් ක්‍රීඩකයාත් අපි අගය කළ යුතුයි.

විශේෂයෙන්ම කොරියාව සමග පැවැති තරගයේදී 56 වැනි විනාඩියේදී ඉඳලා අපිට තරග කරන්න වුණේ ක්‍රීඩකයන් 10 දෙනකු එක්කයි. එතැනදී ලෝකයම පිළිගත් දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමට එරෙහි තරගයේ ප්‍රතිවාදීන්ගේ ගෝල ගණන පනහට අවම කරගන්නත් අපට හැකි වුණා.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අලුත් තාක්ෂණයට හුරු කරවන්න අපි අමතර විශාල වියදමක් දරනවා. අපි මෑතකදී පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හඳුන්වා දුන් නවීන ඩිජිටල් තාක්ෂණික මෙවලම් උපකරණවලට විතරක් ඩොලර් 17,500ක් වියදම් කළා.”

නවීන තාක්ෂණික මෙවලම් සඳහා එහිදී ශ්‍රී ලංකා මුදලින් නම් පාපන්දු සම්මේලනය ලක්ෂ 36කට වැඩි මුදලක් වැය කර තිබේ. එහිදී පුහුණු ඇඳුමේ සවිකරන විද්‍යුත් උපාංගයක් මගින් ක්‍රීඩකයකුගේ දිවීමේ වේගය, මුළු දුර ඇතුළුව හැසිරීමේ සියලු දත්තයන් ගබඩා කර නිරීක්ෂණය කළ හැකිය.

නිමාවට පත්වූ ලෝක කුසලාන තරග දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුව ලබාදුන් බොස්නියානු ජාතික පුහුණුකරු අමීර් ඇලජික් මහතාගේ සේවය ගැනත් එහිදී  පාපන්දු සම්මේලනය සෑහීමට පත්ව සිටියි.

 


අදහස් (0)

පාපන්දු පිල පැරදුනත් දිරි දීමනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.