Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඩෙන්මාර්කය අවසන් පූර්ව වටයට

ඩෙන්මාර්කය අවසන් පූර්ව වටයට

editorial - 2021 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චෙක් ජනරජයට එරෙහිව  පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජයගනිමින් නරඹන්නන්ගේ ඉහළ ජය ඝෝෂා මැද යූරෝ පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඩෙන්මාර්කය සමත් විය. ඒ අනුව මේ මස 7 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ‍ඩෙන්මාර්කය තරග බිමට පිවිසීමට නියමිතය.

තරගය ආරම්භ වී විනාඩි 5 ක් ගතවන විට ස්ට්‍රයිගර් ලාර්සන්ගේ සහයෝගයෙන් ගෝලයක් ලබාගත් තෝමස් ඩෙලනි ‍ඩෙන්මාර්කයට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. ඉන් අනතුරුව ජොකීම් මහේල්ගේ සහයෝගයෙන් ඩෙන්මාර්කයට තවත් ගෝලයක් ලබාදුන් කැස්පර් ඩොල්බර්ග් පළමු අර්ධය නිමාවන විට සිය කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස ඉදිරියට ගෙන ගියේය.

 දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 4 ක් ගතවන විට (49 වැනි විනාඩියේදී) ව්ලැඩිමියර් කූෆල්ගේ සහයෝගයෙන් ගෝලයක් ලබාගැනීමට චෙක් ජනරජයේ පැට්රික් ෂීක් සමත් වුවද, චෙක් ජනරජය පරජයෙන් ගළවා ගැනීමට එය ප්‍රමාණවන් නොවීය. මෙවර තරගාවලියේදී ෂීක් ලබාගත් 5 වැනි ගෝලය මෙය වන අතර මේ වන විට ඔහු වැඩිම ගෝල ලාභියා ලෙස පෘතුගා‍ලයේ ‍ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමග සම තත්ත්වයේ පසුවෙයි.  

මෙවර තරගාවලියේ ඩෙන්මාර්කය සහභාගි වූ පළමු තරගය අතර තුළ ඔවුන්ගේ ප්‍රබල ඉදිරි පෙළ ක්‍රීඩකයකු වූ ක්‍රිස්ටියන් එරික්සන් හෘදයාබාධක් හේතුවෙන් පිටිය මත සිහිසුන්ව ඇද වැටී රෝහල්ගත කෙරිණ. ඒ හේතුවෙන් දැඩි පීඩනයක් යටතේ ක්‍රීඩා කළ ඩෙන්මාර්කය එම තරගය ගෝල 1-0 ක් ලෙස ෆින්ලන්තය හමුවේ පරාජයට පත්විය.

 ඉන් අනතුරුව ‍ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියම හමුවේද ගෝල 2-1 ක් ලෙස පරාජයට පත්වූ ඩෙන්මාර්කය, මූලික වටයේ අවසන් තරගයේදී රුසියාවට ‍එරෙහිව ගෝල 4-1 ක ජයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට ‍අවතීර්ණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස ‘බී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඩෙන්මාර්කය, එහිදී ගෝල 4-0 ක්‍ ලෙස වේල්සය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

‘ඩී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ චෙක් ජනරජය, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී නෙදර්ලන්තයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරමිනි. මූලික වටයේදී ස්කොට්ලන්තයට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කළ චෙක් ජනරජය, ක්‍රොයේෂියාව සමග ගෝල 1-1 ක් ලෙස සම වෙමින් එංගලන්තය හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජයට පත්විය.

 


‍-036


අදහස් (0)

ඩෙන්මාර්කය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.