Last Update  :  2024-04-26 16:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football කොලොම්බියාව - පේරු රාජ්‍යය තෙවැනි ස්ථානයට ගැටෙති

කොලොම්බියාව - පේරු රාජ්‍යය තෙවැනි ස්ථානයට ගැටෙති

editorial - 2021 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ තෙවැනි ස්ථාන තේරීමේ තරගය හෙට (10 වැනිදා) බ්‍රසීලයේ ජාතික පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී කොලොම්බියාවට එරෙහිව පේරු රාජ්‍යය තරග බිමට පිවිසීමට නියමිතය. ‍කොලොම්බියාව මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 15 වැනි ස්ථානයේ පසුවන අතර පේරු රාජ්‍යය එහි 27 වැනි ස්ථානයේ රැදී සිටියි.

අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාව හමුවේ දඬුවම් පහර 3-2 ක් ලෙස පරාජය වීම හේතුවෙන් කොලොම්බියාවටද, බ්‍රසීලය හමුවේ ගෝල 1-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් පේරු රාජ්‍යයටද  තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමේ වරම් අහිමි වූ අතර ඔවුන්ට තෙවැනි ස්ථානය සඳහා තරග වැදීමට සිදුවූහ.

මින් පෙර කොලොම්බියාව සහ පේරු රාජ්‍යය අවස්ථා 67 කදී එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර ඉන් තරග 26 කදීම ජය ලැබීමට කොලොම්බියාව සමත්වී ඇත. සෙසු තරග 41 න් 22 ක්ම ජය පැරදු‍මකින් තොරව නිමාවට පත්වී ඇති අතර පේරු රාජ්‍යයට ජයගැනීමට හැකි වී ඇත්තේ තරග 19 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණ සංඛ්‍යාව අතින් ගත් කළ පේරු රාජ්‍යයට වඩා කොලොම්බියාව ඉදිරියෙන් සිටියි.

මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකාට එරෙහිව තරග වැදුනේ මෙම තරගාවලියේම මූලික වටයේදී තරගයකදීය. එහිදී ගෝල 2-1 ක් ලෙස කොලොම්බියාව පරාජය කිරීමට පේරු රාජ්‍යය සමත් විය. අවසන් වරට පේරු රාජ්‍යය පරාජය කිරීමට කොලොම්බියාව සමත් වූයේ මෙම වසරේ ජූනි මාසයේදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගයකදීය. එම තරගයෙන් ගෝල 3-0 ක් ලෙස කොලොම්බියාව ජය ලැබීය.

මූලික වටයේදී තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජය වී, සෙසු තරගය ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගෙන ‘බී’ කාණ්ඩයේ තෙවැනියා ලෙස කොලොම්බියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගෝල 0-0 ක් ලෙස සම වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-2 ක් ලෙස උරුගුවේ පරාජය කරමින් කොලොම්බියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පේරු රාජ්‍යය අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ මූලික වටයේදී තරගයක් ජයගෙන, තරගයක් පරාජය වී, සෙසු තරග දෙක ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගෙන ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනියා ලෙසිනි. අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගෝල 3-3 ක් ලෙස සම වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-3 ක් ලෙස පැරගුවේ පරාජයට කරමින් පේරු රාජ්‍යය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

 

-036


අදහස් (0)

කොලොම්බියාව - පේරු රාජ්‍යය තෙවැනි ස්ථානයට ගැටෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.