Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඔස්ට්‍රියාව - නෙදර්ලන්තය - එංගලන්තය ජය ලබති

ඔස්ට්‍රියාව - නෙදර්ලන්තය - එංගලන්තය ජය ලබති

editorial - 2021 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ ඊයේ (13 වැනිදා) පැවැති මූලික වටයේ තරගවලදී ජය වාර්තා කිරීමට ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ එංගලන්තය සමත් විය. එහිදී උතුරු මෙසඩෝනියාව,‍ යුක්රේනය සහ ක්‍රොයේෂියාව පිළිවෙලින් ඔවුන් හමුවේ පරාජයට පත්වූහ.

දිනයේ පළමු තරගය ලෙස ඔස්ට්‍රියාව සහ උතුරු මෙසඩෝනියාව අතර තරගය පැවැති අතර ඉන් ගෝල 3-1 ක් ලෙස ජය වාර්තා කිරීමට ඔස්ටියාව සමත් විය. එම ජයග්‍රහණයත් සමග ‘සී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද ඔස්ට්‍රියාවට හැකි විය.

තරගයේ 18 වැනි විනාඩ්යේදී ඔස්ට්‍රියාව වෙනුවෙන් ස්ටෙෆාන් ලයිනර්ද, 28 වැනි විනාඩියේදී උතුරු මෙසඩෝනියාව වෙනුවෙන් ගෝරන් පන්ඩේව්ද ලබාගත් ගෝල සමගින් පළමු අර්ධ නිමා වන විට දෙපිලම ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයේ පසුවූහ.

කෙසේ වුවත් තරගය අවසන් වීමට විනාඩි 12 ක් (78 වැනි විනාඩියේදී) සහ එක් විනාඩියක් (89 වැනි විනාඩියේදී) තිබියදී ඔස්ට්‍රියාව වෙනුවෙන් තවත් ගෝල 2 ක් ලබාගත් මයිකල් ග්‍රෙගොරිට්ෂ් සහ මාකෝ අර්නූටොවික් සිය කණ්ඩ‍ායමට ගෝල 3-1 ක ජයග්‍රහණයක් අත්කර දුන්හ.

‘සී’ කාණ්ඩය යටතේ ඊයේ පැවැති සෙසු තරගයේදී යුක්රේනයට එරෙහිව ගෝල 3-2 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය සමත් විය. තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල ලබා නොසිටි බැවින් දෙවැනි අර්ධයේදී තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.

තරගයේ 52 වැනි සහ 58 වැනි විනාඩිවලදී නෙදර්ලන්තය වෙනුවෙන් ගෝල ලබාගත් ජෝර්ජිනියෝ විජ්නල්ඩම් සහ වොට් වෙගෝර්ස්ට් ගෝල 2-0 ක් ලෙස සිය කණ්ඩායම ඉදිරියට ‍ගෙන ආහ. එහෙත් 75 වැනි සහ 79 වැනි විනාඩිවලදී යුක්රේනය වෙනුවෙන් ගෝල ලබාගත් ඇන්ඩ්‍රි යර්මොලෙන්කෝ සහ රෝමන් යරෙම්චුක් තරගය 2-2 ක් ලෙස සම තත්ත්වයට පත් කළහ.

කෙසේ වුවත් තරගය නිමාවීමට විනාඩි 5 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළ ඩෙන්සිල් ඩම්ෆ්‍රයිස් නෙදර්ලන්තයට ගෝල 3-2 ක ජයක් අත්කර දුන්නේය. මෙම තරගය ජය ගැනීමට සමත් වුවද නෙදර්ලන්තයට ‘සී’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය.

මේ අතර ඊයේ ‘ඩී’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ගෝල 1-0 කින් ක්‍රොයේෂියාව පරාජය කිරීමට එංගලන්තය සමත් වූ අතර කැල්වින් පිලිප්ස්ගේ දක්ෂ පන්දු යොමුකිරීමක් හමුවේ රහීම් ස්ටර්ලින්, 57 වැනි විනාඩියේදී එංගලන්තය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබාගත්තේය.

-036


අදහස් (0)

ඔස්ට්‍රියාව - නෙදර්ලන්තය - එංගලන්තය ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.