Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඉතාලියේ අපරාජිත වාර්තාව බිඳ දැමීමට එංගලන්තයට හැකිවේද?

ඉතාලියේ අපරාජිත වාර්තාව බිඳ දැමීමට එංගලන්තයට හැකිවේද?

editorial - 2021 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යූරෝ 2020 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අනිද්දා (12 වැනිදා) අළුයම 12.30 ට එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩංගණයේදී ආරම්භ වන අතර එහිදී ඉතාලියට‍ එරෙහිව එංගලන්තය තරග බිමට පිවිසීමට නියමිතය. එංගලන්තය මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 4 වැනි ස්ථානයේ පසුවන අතර ඉතාලිය එහි 7 වැනි ස්ථානයේ රැදී සිටියි.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවූ ස්පාඤ්ඤයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය දඬුවම් පහර 4-2 ක් ලෙස ජයගනිමින් ඉතාලිය මෙවර තරගාවලියේ අවසන් මහ තරග‍යට පිවිසියේය. එංගලන්තය මෙවර අවසන් මහ තරගයට පිවිසියේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ පසුවූ ඩෙන්මාර්කයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගය ගෝල 2-1 ක් ලෙස ජයගනිමිනි.

මෙවර තරගාවලියේ තරග 6 කට සහභාගී වී ඇති ඉතාලිය එම තරග 6 ම ජයගනිමින් මේ වන විට 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටියි. මේ වන විට ජාත්‍යන්තර පාපන්දු තරග 14 කදී පිට පිටම ජය ලබා සිටින ඉතාලිය, අවසන් වරට සහභාගි වූ තරග 33 දීම පරාජය නොවී සිටීමටද සමත්ව සිටියි‍.

ඉතාලිය ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් 10 වැනි අවස්ථාව මෙය වන අතර යූරෝ පාපන්දු තරගාවලිය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ සිවුවැනි අවස්ථාවද මෙය විය. මින් පෙර එක් අවස්ථාවකදී (1968) යූරෝ පාපන්දු ශූරතාව දිනාගෙන ඇති ඉතාලිය, අවස්ථා දෙකක්දී (2000 සහ 2012) එහි අනු ශූරතාවට හිමිකම් කියා තිබේ.

වසර 61 ක ඉතිහාසකයට හිමිකම් කියන යූරෝ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගකට පිවිසීමට එංගලන්තය අවස්ථාව උදාකරගත් පළමු අවස්ථාව මෙය විය. මින් පෙර ඔවුන් 1968 සහ 1996 යන වසරවල පැවැති යූරෝ පාපන්දු තරගාවලීන්හි තෙවැනි ස්ථානයන්ට පත්ව සිටි අතර එය ඔවුන් යූරෝ පාපන්දු තරගාවලින්හිදී දක්වා තිබූ ඉහළම දක්ෂතාව විය‍.

1996 වසරේදී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමෙන් පසුව එංගලන්තය ලොව ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා නොතිබිණ. ඒ අනුව වසර 55 ක් පුරා ලොව ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලැබීමට අපොහොසත්ව සිටි එංගලන්තය, මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ එම අවාසනාවට තිත තබමිනි.

මින් පෙර ඉතාලිය සහ එංගලන්තය අවස්ථා 27 කදී එකිනෙකාට එරෙහිව තරගවැදී ඇති අතර ඉන් තරග 11 කදීම ජය ලැබීමට ඉතාලිය සමත්වී ඇත. සෙසු තරග 16 න් 8 ක් ජය පැරදු‍මකින් තොරව නිමාවට පත්වී ඇති අතර එංගලන්තයට ජයගැනීමට හැකි වී ඇත්තේ තරග 8 ක් පමණි. ඒ අනුව ජයග්‍රහණ සංඛ්‍යාව අතින් ගත් කළ එංගලන්තයට වඩා ඉතාලිය ඉදිරියෙන් සිටියි.  

කෙසේ වුවත් 2018 වසරේ මාර්තු මාසයෙන් පසුව ඉතාලිය සහ එංගලන්තය එකිනෙකාට එරෙහිව තරග වැදී නොමැති අතර මෙම තරගයේදී ඔවුන් එකිනෙකා හමුවන්නේ වසර 3 කට පමණ පසුවය. අවසන් වරට දෙටර අතර පැවැති තරගය ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයක් වන අතර එය ගෝල 1-1 ක් ලෙස ජය පැරදුමකින් තොරව නිමාවට පත්වී ඇත.

අවසන් වටර එංගලන්තය පරාජය කිරීමට ඉතාලිය සමත්ව ඇත්තේ 2014 වසරේ ජූනි මාසයේදී වන අතර ලෝක කුසලාන පාපන්දු තරගයක් ලෙස පැවැති එම තරගයෙන් ගෝල 2-1 ක් ලෙස ඉතාලිය ජය ලැබීය. අවසන් වරට ඉතාලිය පරාජය කිරීමට එංගලන්තය සමත් වූයේ 2012 වසරේ අගෝස්තු මාසයේදී පැවැති ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයකදීය. එම තරගයෙන් ගෝල 2-1 ක් ලෙස එංගලන්තය ජය ලැබීය.

‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඉතාලිය, එහිදී ගෝල 2-1 ‍ක් ලෙස ඔස්ට්‍රියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී ලොව අංක ‍එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියමට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමිනි.

‘ඩී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ එංගලන්තය, එහිදී ගෝල 2-0 ක්‍ලෙස ජර්මනිය පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී යුක්රේනයට එරෙහිව ගෝල 4-0 ක පහසු ජයක් වාර්තා කරමිනි.

මූලික වටයේදී තුර්කියට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, වේල්සයට එරෙහිව ගෝල 1-0 ක් ලෙසද ජය වාර්තා කිරීමට ඉතාලිය සමත් විය. මූලික වටයේදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද, චෙක් ජනරජයට එරෙහිව ගෝල 1-0 ක්‍ලෙසද ජය වාර්තා කළ එංගලන්තය, ස්කොට්ලන්තය සමග ගෝල 0-0 ක් ලෙස සමවිය.

එංගලන්ත කණ්ඩායම පුහුණුවීම්වල යෙදෙමින්..

 

ඉතාලි පාපන්දු කණ්ඩායම

 

-036


අදහස් (0)

ඉතාලියේ අපරාජිත වාර්තාව බිඳ දැමීමට එංගලන්තයට හැකිවේද?

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.