Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ඉතාලිය අපරාජිතව අවසන් සටනට

ඉතාලිය අපරාජිතව අවසන් සටනට

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවූ ස්පාඤ්ඤයට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් අද (7 වැනිදා) අළුයම පැවැති අවසන් පූර්ව තරගය දඬුවම් පහර 4-2 ක් ලෙස ජයගත් ඉතාලිය සිය අපරාජිත බව රැකගනිමින් යූරෝ 2020 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරග‍යට සුදුසුකම් ලබාගත්තේය.

මෙවර තරගාවලියේ තරග 6 කට සහභාගී වී ඇති ඉතාලිය එම තරග 6 ම ජයගනිමින් මේ වන විට 100% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් රඳවාගෙන සිටියි. මේ වන විට ලෝක ‍පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේ පසුවන ඔවුන් ජාත්‍යන්තර පාපන්දු පිටියේදී පිට පිටම ලැබූ 14 වැනි ජයග්‍රහණය මෙයයි. අවසන් වරට සහභාගි වූ තරග 33 දීම පරාජය නොවී සිටීමටද ඉතාලියට හැකි වී ඇත.

ඒ අනුව මේ මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ පසුවන එංගලන්තයට හෝ එහි 10 වැනි ස්ථානයේ පසුවන ඩෙන්මාර්කයට එරෙහිව ඉතාලිය තරග බිමට පිවිසීමට නියමිතය. එංගලන්තය සහ ඩෙන්මාර්කය අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (8 වැනිදා) අළුයම 12.30 ට ආරම්භ වේ.

පළමු අර්ධය තුළදී දෙපිලේම ක්‍රීඩකයන් ගෝල ලබාගැනීමට අසමත් වූ නමුත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 15 ක් ගතවන විට (60 වැනි විනාඩියේදී) ඉතාලිය වෙනුවෙන් ගෝලයක් ලබාගත් ෆෙඩරිකෝ චීසා සිය කණ්ඩායම තරගයේ පෙරමුණට ගෙන ආවේය. එහිදී චිරෝ ඉමෝබිල්ගේ‍ පැති පහරකින් දැල අසලට ඇදී ආ පන්දුව දැල රකින්නා පරාජයට කරමින් දැල තුළට යොමු කිරීමට චීසා සමත් විය.

එතැන් පටන් විනාඩි 20 ක් යන තුරු ඉතාලිය ගෝල 1-0 ක් ලෙස තරගයේ ඉදිරියෙන් පසුවූ නමුත් 80 වැනි විනාඩඩියේදී ඩැනී ඔල්මෝගේ සහයෝගයෙන් ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝලයක් ලබාගත් ඇල්වාරෝ මොරටා තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය. ඉන් අනතුරුව තරගයේ නියමිත කාලය සහ අතිරේක කාලය නිමාවන තෙක්ම ගෝල ලබාගැනීමට දෙපිලේම ක්‍රීඩකයෝ අසමත් වීම නිස‍ා ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර කරා යෑමට විනිසුරුවරයාට සිදුවිය.

එහිදී දඬුවම් පහර 4 ක් සාර්ථක කරගැනීමට ඉතාලි ක්‍රීඩකයෝ සමත් වෙද්දී, ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර 2 ක් පමණි. ඉතාලිය පිට පිටම දඬුවම් පහරක් 3 ක් සාර්ථක කරගෙන සිටියදී ස්පාඤ්ඤයේ තෙවැනි දඬුවම් පහර සාර්ථක කරගැනීමට ඇල්වාරෝ මොරටා සමත් විය. ඉන් අනතුරුව ඉතාලියේ සිවුවැනි දඬුවම් පහරත් සාර්ථක කරගැනීමට ජෝර්ජිනියෝ (ජෝන් ලුවිස්) සමත් වීමත් සමග දඬුවම් පහර 4-2 ක් ලෙස තරගයේ ජය ඉතාලියට හිමිවිය.

ඉතාලිය ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් 10 වැනි අවස්ථාව මෙය වන අතර යූරෝ පාපන්දු තරගාවලිය අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ සිවුවැනි අවස්ථාවද මෙය විය. ප්‍රධාන පෙලේ තරගාවලියකදී ඉතාලිය සහ ස්පාඤ්ඤය අතර පැවැති තරගයක් දඬුවම් පහර මගින් නිමාවට පත්වූ 10 වැනි අවස්ථාව ලෙසද මෙය සටහන් විය.

‘ඒ’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ඉතාලිය, එහිදී ගෝල 2-1 ‍ක් ලෙස ඔස්ට්‍රියාව පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී ලොව අංක ‍එකේ පාපන්දු කණ්ඩායම වන බෙල්ජියමට එරෙහිව ගෝල 2-1 ක ජයක් වාර්තා කරමිනි.

‘ඊ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ස්පාඤ්ඤය, අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ එහිදී ක්‍රොයේෂියාවට එරෙහිව ගෝල 5-3 ක ජයක් වාර්තා කරමිනි. අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විට්සර්ලන්තයට එරෙහිව දඬුවම් පහර 3-1 ක ජයක් වාර්තා කරමින් ස්පාඥ්ඤය තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

මූලික වටයේදී තුර්කියට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, ස්විට්සර්ලන්තයට එරෙහිව ගෝල 3-0 ක් ලෙසද, වේල්සයට එරෙහිව ගෝල 1-0 ක් ලෙසද ජය වාර්තා කිරීමට ඉතාලිය සමත් විය. මූලික වටයේදී ස්ලෝවැකියාවට ‍එරෙහිව ගෝල 5-0 ක ජයක් වාර්තා කළ ස්පාඤ්ඤය, පෝලන්තය සමග ගෝල 1-1 ක් ලෙසත්, ස්වීඩනය සමග ගෝල 0-0 ක් ලෙසත් සම විය.

-036


අදහස් (0)

ඉතාලිය අපරාජිතව අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.