Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආර්ජන්ටිනාව අවසන් මහ තරගයට

ආර්ජන්ටිනාව අවසන් මහ තරගයට

editorial - 2021 ජුලි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් පූර්ව වටයේදී ‍දඬුවම් පහර 3-2 ක් ලෙස කොලොම්බියාව පරාජය කළ ‍ආර්ජන්ටිනාව, සිය අපරාජිත බව රැකගනිමින් දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (7 වැනිදා) සමත් විය. ඒ අනුව මේ මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයේදී බ්‍රසීලයට එරෙහිව ආර්ජන්ටිනාව තරග බිමට පිවිසීමට නියමිතය.

තරගය ආරම්භ වී විනාඩි 7 ක් ගතවනවාත් සමග ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් ලුටාරෝ මාටිනස් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එම ගෝලයත් සමග පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0 ක් ලෙස තරගයේ ‍පෙරමුණට ගැනීමට ආර්ජන්ටිනාවට සමත් විය. එහෙත් දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 16 ක් ගතවන විට (61 වැනි විනාඩඩියේදී) කොලොම්බියාව වෙනුවෙන් ගෝලයක් ලබාගත් ලුවිස් ඩියාස් තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කළේය.

ඉන් අනතුරුව තරගයේ නියමිත කාලය සහ අතිරේක කාලය නිමාවන තෙක්ම ගෝල ලබාගැනීමට දෙපිලේම ක්‍රීඩකයෝ අසමත් වීම නිස‍ා ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරිණ. එහිදී දඬුවම් පහර 3 ක් සාර්ථක කරගැනීමට ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ සමත් වෙද්දී, කෙ‍ාලොම්බියානු ක්‍රීඩකයන්ට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහර 2 ක් පමණි. ඒ අනුව දඬුවම් පහර 3-2 ක් ලෙස ආර්ජන්ටිනාවට තරගයේ ජය හිමිවිය.

මේ දක්වා පැවැති දකුණු ඇමරිකානු පාපන්දු තරගාවලි 46 න් 14 ක් ජයගැනීමට ආර්ජන්ටිනාව සමත්ව සිටින නමුත් අවසන් වරට ඔවුන් එම ශූරතාවට හිමිකම් කියා ඇත්තේ මීට වසර 28 කට පෙර එනම් 1993 වසරේදීය. ඊට අමතරව තවත් තරගාවලි 14 ක අනු ශූරතාව හිමිකර ගැනීමට මෙන්ම තරගාවලි 5 ක තෙවැනි ස්ථාන හිමිකර ගැනීමටද ආර්ජන්ටිනාවට හැකි වී තිබේ. ඊට අවසන් වරට පැවති තරගාවලියේ (2019) තෙවැනි ස්ථානයද ඇතුළත් වේ.

මෙම තරගයේදී ආර්ජන්ටිනා ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 20 ක්ද, කොලොම්බියානු ක්‍රීඩකයන් අතින් නිති විරෝධී ක්‍රියා 27 ක්ද සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ජන්ටිනාව කහ පැහැති කාඩ් පත් 4 ක්ද, කොලොම්බියාව කහ පැහැති කාඩ්පත් 6 ක් ලැබූහ. තරගය පුරා දෙපිලේම ක්‍රීඩකයෝ දැල ඉලක්ක කරගනිමින් පහර 4 බැගින් එල්ල කළහ.

මූලික වටයේදී තරග තුනකක් ජයගෙන, එක් තරගයක් ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘ඒ’ කාණ්ඩයේ ශූරයන් ලෙස ආර්ජන්ටිනාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි‍යේය. ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඉක්වදෝරයට එරෙහිව ගෝල 3-0 ක ජයක් ලබමිනි. මූලික වටයේ පළමු තරගයේදී චිලී රාජ්‍යය සමග ගෝල1-1 ක් ලෙස සම වූ ආර්ජන්ටිනාව, ඉන් අනතුරුව ගෝල 1-0 ක් ලෙස උරුගුවේද, ගෝල 1-0 ක් ලෙස පැරගුවේද, ගෝල 4-1 ක් ලෙස බොලීවියාවද පරාජය කළේය.  

කොලොම්බියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ මූලික වටයේදී තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජය වී, සෙසු තරගය ජය පැරදු‍මෙන් තොරව අවසන් කරගනිමින් ‘බී’ කාණ්ඩයේ තෙවැනියා ලෙසිනි. අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ගෝල 0-0 ක් ලෙස සම වීමෙන් අනතුරුව දඬුවම් පහර 4-2 ක් ලෙස උරුගුවේ පරාජය කරමින් ඔවුහු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.

-036


අදහස් (0)

ආර්ජන්ටිනාව අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.