Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අටවැනි සාෆ් පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට

අටවැනි සාෆ් පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේ ”කත්මන්ඩු” නුවරදී ලබන සෙනසුරාදා (31) ආරම්භ වන අටවැනි සාෆ් පාපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (27) තායිලන්තයේ ”බැංකොක්” නුවරින් පිටත්වූ බව වාර්තාවේ.

එම තරගාවලියට සහභාගිවීමට පෙර සංචාරක ශ්‍රී ලංකා පාපන්දු කණඩායම තායිලන්තයේ පුහුණු තරග සංචාරයකට සහභාගි වූ බැවින් එහි සිට කෙළින්ම කත්මන්ඩු නුවරට ළඟාවීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළේය.

තායිලන්තයේදී පුහුණු තරග කීපයකටද සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී අවසන් තරගයට සහභාගි වෙමින් තායිලන්ත යුද හමුදා පාපන්දු කණ්ඩායම ගෝල 3x0කට පරාජය කිරීමට සමත්විය.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පැවැති තවත් පුහුණු තරග කීපයකදී තායිලන්ත යොවුන් පාපන්දු කණ්ඩායම (2.0), කස්ටම් යුනයිටඞ් කණ්ඩායම (3.0) පරාජයට පත් කළත් එරට සංචාරයක නිරතවූ හොංකොං පළමු පෙළ ක‍්‍රීඩා සමාජ කණ්ඩායමත් සමග පැවැති තරගයකදී ගෝල (5.1) කට පරාජය විය.

මේ අතර තායිලන්ත පුහුණු සංචාරය ගැන අදහස් දැක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණඩායමේ පුහුණුකරු බ‍්‍රසීල ජාතික රොබොටෝ සිල්වේරා මහතා සාෆ් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම හොඳ මානසිකත්වයකින් පසුවන බව පැවසීය.

ඒ අනුව තායිලන්ත පුහුණු සංචාරයේදී ඔවුන් දක්ෂතා වර්ධනය කරගෙන තිබෙන බවක් පෙනෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සාෆ් තරගාවලියේදී පෙරළිකාර දස්කම් අපේක්ෂා කළ හැකි බව සිය විශ්වාසය බවද ඔහු ”බැංකොක්” නුවරදී පවසා තිබේ.

සාෆ් පාපන්දු තරගාවලිය ලබන සෙනසුරාදා (1) ආරම්භ වේ. ඒ එදින පැවැත්වෙන නේපාල.බංග්ලාදේශය අතර තරගයෙනි. ශ්‍රී ලංකාව ලබන සඳුදා (2) තරගාවලියේ පළමු තරගයට සහභාගි වන්නේ මාලදිවයිනට එරෙහිවය.

ක‍්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට භාෂා පරිවර්තකයකු ද ඇතුළුව නිලධාරීන් හය දෙනෙකු ඇතුළත්ව සිටිති.


අදහස් (0)

අටවැනි සාෆ් පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.