Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මේ නිලධාරීන් එක්ක තවත් යන්න බෑ

මේ නිලධාරීන් එක්ක තවත් යන්න බෑ

editorial - 2023 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මූල්‍ය චෝදනාවන්ට ලක්ව සිටින පාපන්දු ආයතනයේ හිටපු ප්‍රධානීන්ගේ නිලවරණ ව්‍යාපාරවලට මින් ඉදිරියට සිය සහයෝගය නොලැබෙන බව ශූරයන්ගේ හා සුපර්ලීග් යන පාපන්දු ක්‍රීඩා සමාජ එකමුතු සන්ධාන පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම පාපන්දු ක්‍රීඩා සමාජ එකමුතු සංධාන පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ නිලවරණයේදී ලීගයන්ට මෙන්ම සිය ක්‍රීඩා සමාජයන්ටද ඡන්ද බලය හිමිකර ගැනීම සඳහා තමන් මෙතැන් සිට නොනවතින අරගලයක් ආරම්භ කරන බවයි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සංවිධානය කරන ශූරයන්ගේ ලීග් තරගාවලිය හා සුපර්ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමජ බහුතරයක ප්‍රධානීන් මෙම මාධ්‍ය හමුවේ අසුන් ගනිමින් අදහස් දැක්වූහ.

මෙම පාපන්දු ක්‍රීඩා සමාජ එකමුතුවන් දෙකේ සාමාජික ක්‍රීඩා සමාජ ගණන 24 කි. මෙම මාධ්‍ය හමුව මෙහෙයවමින් ශූරයන්ගේ හා සුපර් ලීග් ක්‍රීඩා සමාජ එකමුතුවේ කැඳවුම්කරු වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

‘‘මේ රටේ පාපන්දු ක්‍රීඩාවේ පැවැත්ම රඳාපවතින්නේ ක්‍රීඩා සමාජ මතයි. ඒත් රටේ පාපන්දු ලීග අහෝසි කර දැමිය යුතු යයි අපි කියන්නේ නෑ. නමුත් පාපන්දු ආයතනයේ නිලවරණය කැඳවන අවස්ථාවලදී පිළිගත් ක්‍රීඩා සමාජ ඡන්ද ඒකක ලෙස පිළිගත යුතුයි.

ලෝකයේම පාපන්දු ක්‍රීඩාවේ පැවැත්ම රඳාපවතින්නේ ක්‍රීඩා සමාජ මතයි. ක්‍රීඩා සමාජවලට ඡන්ද අයිතිය ලැබිය යුතු බවට අප ගෙන යන මතය මේ වනවිටත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පිළිඅරන් තිබෙනවා.

ඒ සඳහා අපට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙනවා. මෙතෙක් කල් සිද්ධ වුණු එකම දේ රටේ පාපන්දු ක්‍රීඩාවට ලැබුණු අරමුදල් පාපන්දු ආයතනයේ සමහර නිලධාරීන් කොල්ල කෑමයි. ඒ නිසා රටේ පාපන්දු ක්‍රීඩාවේ දියුණුව බින්දුවටම බැස්සා. මේ ක්‍රමයට තිත තියලා රටේ පාපන්දු ක්‍රීඩාව දූෂිතයන්ගෙන් බේරා ගන්න අපි මෙතැන් සිට එකමුතුව කටයුතු කරනවා.’’

‘සුපර්ලීග්’ ක්‍රීඩා සමාජ එකමුතුවේ ලේකම් රොයිස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසුවේ තවදුරටත් මේ ක්‍රමයට රටේ පාපන්දු ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් ඒ සඳහා මැදිහත්වීමට ක්‍රීඩා සමාජ තීරණය කළ බවයි.

ශූරයන්ගේ ලීග් එකමුතුවේ සභාපති සාගර පියතිලක, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු සුමිත් වල්පොල, හිටපු ජාතික පාපන්දු පුහුණුකරුවන් වන රූම් ෆකීර්අලි, ඩී. චන්ද්‍රසිරි, ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු දැල් රකින්නෙකු වන කපිල ගුණරත්න, හිටපු පාපන්දු ශූර හයිනා මොහොමඩ්, කොළඹ ක්‍රීඩා සමාජයේ ලේකම් එම්. ප්‍රේමදාස, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයේ සභාපති නීතිඥ සමන්ත පිරීස් යන මහත්වරුන් ඇතුළු ක්‍රීඩා සමාජ නියෝජිතයෝ රැසක් මෙහිදී අදහස් දැක්වූහ.


අදහස් (0)

මේ නිලධාරීන් එක්ක තවත් යන්න බෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.