Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ක්‍රීඩා සමාජ තුනකට දඬුවම්

ක්‍රීඩා සමාජ තුනකට දඬුවම්

editorial - 2022 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ අවසානයට පැමිණ තිබියදී ක්‍රීඩා සමාජ තුනකට තරග නීති රීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත දඬුවම් පැමිණවීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ විනය කමිටුව පියවර ගෙන තිබේ.

සුපර් ලීග් තරගාවලියේ රුපියල් කෝටි භාගයක මුදල් ත්‍යාගයක් හිමිවන කුසලාන දිනා ගැනීම සඳහා කළුතර බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජය සමග තියුණු සටනක නිතර වෙමින් සිටින කොළඹ ක්‍රීඩා සමාජය ඇතුළුව සීහෝක්ස් (නාවික හමුදා) හා වෙන්නප්පුව නිව් යංග්ස් යන ක්‍රීඩා සමාජ දෙකට එහිදී දඬුවම් පැනවීම හැරෙන්නට දඩ මුදල් ද විරෝධතා විභාගයේදී නිර්දේශ කර තිබේ.

කොළඹ කණ්ඩායම හා නිව්යංග්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී තරග රෙගුලාසි උල්ලංඝනය වන අන්දමින් විදේශීය ක්‍රීඩකයෙකු කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කළ බවට ප්‍රතිවාදී නිව්යංග්ස් කණ්ඩායම ගොනු කළ විරෝධතාවය විභාග කරමින් විනය කමිටුව ලබාදී තිබෙන තීන්දුවට අනුව කොළඹ ක්‍රීඩක මුසාතිර් මොහොමඩ් රසීක්ට රුපියල් ලක්‍ෂයක් හා කොළඹ ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ පහක දඩයක්ද නියම කර තිබේ.

මතභේදයට තුඩුදුන් මෙම තරග ගෝල 4 – 1 කට කොළඹ කණ්ඩායම ජය ලබා තිබේ. කෙසේ වුවත් මෙම තීන්දුවෙන් සෑහීමට පත් නොවන බව ප්‍රකාශ කරන වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රීඩා සමාජය හෙට (10) නැවත ප්‍රති අභියාචනයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට බාරදීමට තීරණය කර තිබේ. එහි සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා ‘‘ලංකාදීප’’ය කළ විමසුමකදී පැවසුවේ මෙම තරගයේ ජය තමන්ට ප්‍රදානය කිරීම හැරෙන්නට වෙනත් විසඳුමක් බලාපොරොත්තු නොවන බවයි.  සිය නීතිඥයන් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ තරග නීති රීති පිළිබඳව විශ්ලේෂණයක් සිදු කරමින් මෙම ප්‍රතිඅභියාචනාව පාපන්දු ආයතනයට හෙට බාරදීමට තීරණය කර සිටින බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ‘‘ලංකාදීප’’යට පැවසුවේ වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම අදාළ තරගයේ සිදුවීම සම්බන්ධයෙන් ගොනු කළ විරෝධතාවයේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් තරගයේ තීරණය වෙනස් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි.  විරෝධතාවය ඉදිරිපත් කිරීමේදී නිව්යංග්ස් කණ්ඩායම කරුණු කීපයක් සම්පූර්ණ කර තිබුණත් එක් කරුණක් සම්බන්ධයෙන් විනය කමිටුව සෑහීමකට පත් නොවීම තුළ තරගයේ තීරණය වෙනස් කළ නොහැකි බවත් ඔහු පැවසීය.

තරගයේ මතභේදාත්මක සිදුවීම වූයේ කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කළ මොහොමඩ් රසික් ක්‍රීඩකයා ශ්‍රී ලාංකිකයකු නොවන බවට නිව්යංග්ස් කණ්ඩායම විරෝධතා ගොනු කිරීමයි.  ඒ සඳහා තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රයෝජනයට ගනිමින් අදාළ ක්‍රීඩකයා සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේදී නියමිත කාලය ඉක්මවායාම විනය කමිටුවේ අවධානය යොමු වුණු බව පාපන්දු සභාපතිවරයා පවසයි. කෙසේ වුවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ විනය කමිටුවේ තීන්දුවට එරෙහිව ප්‍රතිවිරෝධතාවයක් ගොනු කිරීමට නිව්යංග්ස් කණ්ඩායමට අවසර ලැබෙන බවයි.

මේ අතර නාවලපිටිය අෆ්කන්ට්‍රි ලයන්ස් කණ්ඩායම හා සීහෝක්ස් (නාවික හමුදා) කණ්ඩායම අතර පැවැති තරගයේ විරෝධතාවයක් විභාග කළ විනය කමිටුව එහි ජය ගෝල 3 – 0 ක් ලෙස සළකමින් ජයග්‍රාහනය අෆ්කන්ට්‍රි කණ්ඩායමට ප්‍රදානය කර තිබේ.
අෆ්කන්ට්‍රි පිලේ විරෝධතාවය වන්නේ සුපර්ලීග් තරග රෙගුලාසි අනුව තරග වදින අවස්ථාවකදී කණ්ඩායමකට අනිවාර්යයෙන්ම වයස 21 න් පහළ ක්‍රීඩකයෙකු ඇතුළත්ව සිටිය යුතු වුවත් තමන්ට එරෙහිව තරග වැදුණු අවස්ථාවේදී සී-හෝක්ස් කණ්ඩායම එම රෙගුලාසිය කඩවන ආකාරයෙන් හැසිරී තිබෙන බවයි.

කෙසේ වුවත් තරගය අතරතුර එය නිවැරැදි කර ගැනීමට සීහෝක්ස් කණ්ඩායම උනන්දුවී සිටියත් සිය තීන්දුවේදී විනය කමිටුව එය බැහැර කරමින් සීහෝක්ස් කණ්ඩායමට රුපියල් දස දහසක දඩයක්ද නියමකර තිබේ.  මේ අතර කොළඹ ක්‍රීඩා සමාජයට එරෙහිව විරෝධතා ගොනු කළ වෙන්නප්පුව නිව්යංග්ස් කණ්ඩායම රිනවුන් කණ්ඩායම සමග පැවැති සුපර් ලීග් තගරයේදී විනය කඩ කිරීමේ චෝදනා මත දඬුවම් ලබා තිබේ.

විනිසුරු තීරණවලට එකඟ නොවෙමින් කළහකාරී ලෙස තරගයේදී හැසිරුණු බවට දෙපිල අතර පැවැති තරගයේදී චෝදනා ලැබූ නිව්යංග්ස් ක්‍රීඩක තරිඳු ධනුෂ්කට රුපියල් 25000 ක දඩයක් සමග තරගාවලියේ ඉදිරි තරග දෙකකට සහභාගීවීම තහනම් කර තිබේ.
ඒ අතරම එම සිදුවීමේදී අනිසි හැසිරීමක් ප්‍රදර්ශනය කළ බව කියන නිව්යංග්ස් කණ්ඩායම් කළමනාකරු රෝහිත ප්‍රනාන්දු මහතාට රුපියල් 25000 ක දඩයක් නියම කිරීමටද විනය කමිටුව පියවර ගෙන තිබේ. ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව පාපන්දු ලීගයේ වත්මන් සභාපතිවරයාද වේ.

ඒ සමග නිව්යංග්ස් කණ්ඩායම හා එහි නිලධාරීන්ට තීන්දුවෙන් දැඩි අවවාද කර තිබේ. විනය කමිටුව ලබාදුන් මෙම තීන්දුවලට එරෙහිව දඬුවම් ලද ක්‍රීඩා සමාජ තුනම ප්‍රති අභියාචනා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයිද වාර්තා වේ.

කෙසේ වුවත් සුපර් ලීග් තරගාවලිය නිමාවීමට  හෙට සහ අනිද්දා (10 – 11) තවත් තරග පහක් ඉතිරිව තිබේ. හෙට (10) රාත්‍රී 7.30 ට රීඩ් මාවත පිටියේදී පැවැත්වෙන කොළඹ පිල හා සී-හෝක්ස් පිල අතර තරගයත් හෙට (11) පස්වරු 6 ට සුගතදාස පිටියේදී පැවැත්වෙන කළුතර බ්ලූස්ටාර්ස් පිල හා බ්ලූ ඊගල්ස් (ගුවන් හමුදා) පිල අතර තරගයත් එහිදී තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙන අතිශයින්ම තීරණාත්මක තරග දෙකක් බවට පත්ව තිබේ.

මෙම තරග දෙකේදී ප්‍රතිවාදීන් පරාජයට පත් කිරීමට සමත් වන බ්ලූස්ටාර්ස් පිලට මෙන්ම කොළඹ පිලටද ඒ සඳහා අවස්ථාව තවදුරටත් ඉතිරිව තිබෙන අතර එසේ වුවත් ඒ සඳහා වඩාත්ම වාසිදායක වටපිටාව මේ වනවිට සකස් කර ගෙන සිටින්නේ බ්ලූස්ටාර්ස් කණ්ඩායමයි. මෙම දෙපිල මේ වනවිට ප්‍රසාද ලකුණු 19 බැගින් ලබා සම තත්ත්වයේ පසුවේ.

මෙම තීරණාත්මක තරග දෙකෙන් පසුවත් සම තත්ත්වයක් උද්ගතවුවහොත් රුපියල් කෝටි භාගයක මුදල් ත්‍යාගය ලබන තරගාවලියේ ජයග්‍රාහකයා වන්නේ බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජයයි. එහිදී අවධානයට ගන්නා එකම කරුණ වන්නේ කුසලානයට පොර බදන මෙම දෙපිල මූලික වටයේ මුණගැසීමේදී බ්ලූස්ටාර්ස් කණ්ඩායම ජය තහවුරු කර ගෙන සිටීමයි.


අදහස් (0)

ක්‍රීඩා සමාජ තුනකට දඬුවම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.