Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ශ්‍රේණිගත ලයිස්තුවේ ස්ථානය ඉලක්කමක් විතරයි - කුසල් මෙන්ඩිස්

ශ්‍රේණිගත ලයිස්තුවේ ස්ථානය ඉලක්කමක් විතරයි - කුසල් මෙන්ඩිස්

editorial - 2024 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ සිට)

අන්තර්ජාතික ක්‍රිකට් සභාව අවසන් වරට (2024 ජනවාරි 11 වැනිදා) කළ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව, ප්‍රසාද ලකුණු 88 ක් හිමි ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ සිටී. ප්‍රසාද ලකුණු 84 ක් ඇති ඇෆ්ඝනිස්ථානය කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ 9 වැනි ස්ථානයේ ඇත.

ප්‍රසාද ලකුණු පරතරය 04 ක් වන අතරම කණ්ඩායම් දෙක අතර ඇත්තේ ද පටු තීරුවකි. පල්ලෙකැළේදී ශ්‍රී ලාංකිකයන් වෙතින් සිදුවන ඕනෑම අත්වැරදීමකින්, ශ්‍රී ලංකාව පහළට ඇද දමා ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට නැගීමේ අවස්ථාව ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට ඇත. එහෙත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ට නම් කණ්ඩායම් ශ්‍රේණිගත සටහනේ ශ්‍රී ලංකාවට හිමිව ඇති ස්ථානය හුදු ඉලක්කමක් පමණි. 

“අපි ශ්‍රේණිගත ලයිස්තුවේ 7 වැනි තැන ඉන්නවා. ඒක ඉලක්කමක් විතරයි”

“ඒත් වැඩිය හොඳට (සෙල්ලම්) කළොත් අපිට උඩට එන්න පුළුවන්. කලින් අවුරුදු වල අපි හොඳට (සෙල්ලම්) කරපු නැති නිසා තමයි අපි ශ්‍රේණිගත කිරීම් වල පල්ලෙහාට ගියේ” යයි ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් අද (08 වැනිදා) පස්වරුවේදී පල්ලෙකැළේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

“මා හිතනවා, මේ අවුරුද්ද පටන් ගනිද්දීම, අපි සිම්බාබ්වේ එක්ක තරග තුනම හොඳට ඉවර කළා. 

“මේ කණ්ඩායමත් එක්ක අපි සෑහෙන්න සෙල්ලම් කරලා තියෙනවා. අපේ පළපුරුදු ක්‍රීඩකයන් සෑහෙන පිරිසක් ඉන්නවා. අපේ පන්දු යැවීම ගත්තත්, පිතිහරඹය ගත්තත්, අපට හොඳ කණ්ඩායමක් ඉන්නවා” යයි කී කුසල් මෙන්ඩිස්....

“මම හිතන්නේ ශ්‍රේණිගත ස්ථානය ගැන ඔලුවට දාගන්නේ නැතිව, අපි තරගයෙන් තරගය ඉදිරියට ගිහිල්ලා, මේ තරගාවලිය හොඳින් අවසන් කරගන්න පුළුවන් කියලයි” යයි පැවසීය. 

එක්දින තරග වලදී දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින අවිශ්ක ප්‍රනාන්දු කෙරේ තේරීම් කමිටුව මෙන්ම නායකයාත් විශ්වාසය තබා තිබේ. සිය අවසන් එක්දින තරගාවලි දෙකේදීම, ඉනිම 6 කදී අවිශ්ක කළ ලකුණු ලබාගැනීම සටහන් වන්නේ 5, 20, 1, 0, 4 ක් සහ 0 ක් වශයෙනි. 

“ආරම්භක පිතිකරුවන්ගේ කාර්ය භාරය පහසු එකක් නෙමේ. දෙපැත්තෙන් අලුත් බෝල දෙකක් යොදාගන්නේ. ඒ නිසා ඒ දෙන්නගේ ක්‍රීඩාව එකිනෙකාට වටහා ගන්න කාලයක් දෙන්න ඕනේ” යයි කී කුසල් මෙන්ඩිස්... 

“මම වුණත් කීප දෙනෙක් එක්ක ඉනිම ආරම්භ කරලා තියෙනවා. සමහර වෙලාවට, එක එක පිතිකරුවන් එක්ක එක තරගාවලි සෙල්ලම් කරන එක ගොඩක් අමාරුයි. ඒක ඒ වෙලාවේ ලකුණු අතර ඉන්න පිතිකරුවාට උණත් අමාරුයි. ඒ නිසා අපි කතාකරලා තියෙනවා, අවිශ්කටයි, පැතුම්ටයි තවත් තරගාවලි එකක් දෙකක් දෙන්න” යයි ද කීවේය. 

ලෝක කුසලාන තරගාවලියේදී ලද අන්ත පරාජයෙන් පසුව, 2024 වසර ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති එක්දින තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. එහෙත් එම තරගාවලියේ ප්‍රතිඵලය මගින් අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවට බලපෑමක් එල්ල නොවිණ. ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානයේත් සිම්බාබ්වේ පිල එතැනමත් සිටියේය. එහෙත් මේ වතාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමවේ ඇති අභියෝගය සැහැල්ලුවෙන් ගත හැක්කක් නොවේ. 

නිමාවූ ලෝක කුසලාන තරගාවලියේදී හිටපු ලෝක ශූරයන් තිදෙනකුව (ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්තානය) අසරණ කළ ඇෆ්ඝනිස්ථානුවෝ, ඕස්ටේ්‍රලියානු පිලේ කඩුලු 7 ක් ලකුණු 91 කට බිම දැමූහ. ඒ අවස්ථාවේදී පිටියට පිවිසි ග්ලෙන් මැක්ස්වෙල්, 22 වැනි ඕවරයේදී දුන් උඩපන්දුව රැකගැනීමට මුජිබුර් රහීම්ට හැකිවූයේ නම්, ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාවත් ඇෆ්ඝනිස්ථානුවන්ට තිබිණ. 

සැබවින්ම මෙම ඇෆ්ඝනිස්ථානු කණ්ඩායම සුළුවෙන් තැකිය හැකි කණ්ඩායමක් නොවේ. 

“ඇෆ්ඝනිස්ථානය තවදුරටත් අත්දැකීම් නැති කණ්ඩායමක් හැටියට සලකන්න බෑ. ඒගොල්ල ගොඩාක් ලීග් ක්‍රිකට් ගහනවා. මම අවුරුදු 8 ක් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලත්, සෙල්ලම් කරලා තියෙන්නේ ලීග දෙකක විතරයි. ඒත් ගුර්බාස් වගේ ක්‍රීඩකයෙක්, මේ තරම් පොඩි කාලයකදී, ලීග කිහිපයකම සෙල්ලම් කරලා තියෙනවා.” යයි කුසල් මෙන්ඩිස් කීවේ තත්ත්වය වටහාගෙන සිටින බැවිනි. 

“ඒවායේදී ඔවුන් ලෝකයේ  හොඳම ක්‍රීඩකයන්ට එරෙහිව වගේම සියලුම ආකාරයේ තරග තත්ත්වයන් යටතේදීත් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ හින්දා මේ ගොල්ලත් එක්ක වැරදි කරන්න බෑ” යයි ද නායකයා කීවේය. 

ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී එකතැන කඩා වැටුණ නමුත් ඇෆ්ඝනිස්ථානු එක්දින පිලට ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම එක්වී සිටිති. කඩුලු රකින්නා වන රමනුල්ලා ගුර්බාස්, අස්මතුල්ලා ඔමර්සායි, මොහොමඩ් නබී, ගුලාබ්දීන් නයීබ් සහ නූර් අහමඩ් එක්දින සංචිතය ශක්තිමත් කිරීමට එක්වී සිටිති. 

“කණ්ඩායමට එක්වූ පළපුරුදු ක්‍රීඩකයන්ගෙන් වැඩි යමක් කෙරෙනු ඇති” යයි ඇෆ්ඝනිස්ථානු නායක හෂ්මතුල්ලා ශහිඩි කීවේය. 

ඡායාරූපය : ගයාන් අමරසේකර


අදහස් (2)

ශ්‍රේණිගත ලයිස්තුවේ ස්ථානය ඉලක්කමක් විතරයි - කුසල් මෙන්ඩිස්
  • වීර Thursday, 08 February 2024 09:23 PM

    ඔව් ඉලක්කමෙන් නැතුව අකුරු වලින් දෙන්නද..? බිංදුවට වඩා දෙයක් දන්නේ නැති අයට හොඳයි.

    Reply 0       0

    Kamal Friday, 09 February 2024 06:19 AM

    සත්‍ය කියමනක්... ඔවුන් විවේචනයකින් තොරව කණ්ඩායමට ගත යුතුයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.